රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති හිමි අපවත්වෙයි

Share

රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, රාජකීය පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නාහිමියෝ අපවත්වූහ.

ගාල්ල මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරායේ විහාරාධිපති ලෙස වැඩවිසූ හිමියෝ අපවත්වන විට 95වැනි වියෙහි පසුවූහ.

1924 දී බෙලිඅත්තේ පල්ලත්තර දී උපන් උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළු වූයේ 1937 දීය. 1944 දී කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත්වී ප්‍රාචීන පණ්ඩිත විභාගයෙන් සමත්වූ සුමනජෝති හිමියන් හෝමාගම විද්‍යාවර්ධන පිරිවෙනේ සහ පොළොන්නරුව පලුගස්දමන මහා විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස සේවය කර ඇත.

1963 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය සමත්වූ පල්ලත්තර සුමනජෝති හිමියන් ගාල්ලේ මීපාවල විද්‍යාලයේ සේවට එක්වූහ. පසුව ගාල්ල මහින්ද විද්‍යාලයේ සේවය කළ හිමියන් ගාල්ල මලිගස්පේ සුභද්‍රාරාම විහාරයේ විහාරාධිපති ධූරයට පත්වූයේ 1972 වර්ෂයේ දී ය.

කුඹල්වැල්ලේ රේවත පිරිවෙනෙහි පරිවේණාධිපති ලෙස ද වසර කිහිපයක් සේවය කළ උන්වහන්සේ රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පති ධූරයට පත්වූහ.

පල්ලත්තර සුමනජෝති හිමියන් මල්වතු විහාර පර්ශවයේ දක්ෂිණ ලංකාවේ උපප්‍රධාන සංඝනායක ධූරයෙන් 1983 වර්ෂයේ දී සහ උපාධ්‍යාය පදවියෙන් 1997 දී ද පිදුම් ලැබූ අතර 2007 වර්ෂයේ දී දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් ද පිදුම් ලැබූහ.

Read more

Local News