හදිසි නීතියෙන් මුලික අයිතීවාසිකම් උල්ලංඝනය වු බවට ගොනුකර තිබෙන පෙත්සම් සලකා බැලීම 5දා

Share

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙන හදිසි නීති රෙගුලාසි මාලාවේ අඩංගු ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ජුලි මස 05 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ පුරවැසි බලය සංවිධානයේ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ සහ නීතිපතිවරයා නම් කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් අප්‍රේල් මස 21 වන පාස්කු ඉරුදින එල්ලවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර වලින් පසුව රටේ උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බවයි.

එය පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව අනුමත කර ඇති බවද  පෙත්සම්කරුවන් පවසයි.

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද 2019 වසරේ අංක 1 දරණ හදිසි නීති විශේෂ විධිවිධාන වල අඩංගු ඇතැම් වගන්ති වලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බව ද පෙත්සම්කරුවන් චෝදනා කළේය.

එමෙන්ම හදිසි නිති රෙගුලාසි මාලාවේ අඩංගු තවත් සමහර වගන්තිවලින් අධිකරණය සතු බලතල සීමා කිරීමක් සිදුවන බවද පෙන්වා දෙන පෙත්සම්කරුවන්ම තත්ත්වය තුළින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුවන බවයි පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙන හදිසි නීති රෙගුලාසි තුළ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද තිබේ.

මෙම පෙත්සම අද සලකා බැලීම සඳහා ප්‍රසන්න ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා ජුලි මස 05 වනදා කැඳවන ලෙසයි.

Read more

Local News