මොරටු වඩු මඩු කාර්මිකයින්ගේ සත්‍යග්‍රහය මාරන්තික වෙයිද ?

Share

වඩු මඩු වසා දැමීමට රජය තීරණය කර ඇතැයි පවසමින් මොරටුව වඩු කාර්මිකයින්, මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා, නාගරික මන්ත්‍රීවරුන් සහ ආගමික නායකයින් එක්ව ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වෙයි.

සත්‍යග්‍රහයේ නිරත වඩු කාර්මිකයින් පවසන්නේ අද(10) දිනය තුළ රජයෙන් පිළිගත නොහැකි පිළිතුරක් නොලැබුණහොත් හෙට(11) දිනයේ සිට මාරන්තික උපවාසයක නිරත වන බවයි.

වඩු මඩු වසා දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව පවසමින් මොරටුව වඩු කාර්මිකයින්,මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා, නාගරික මන්ත්‍රීවරුන් සහ ආගමික නායකයින් එක්ව පසුගිය 08 වනදා පස්වරුවේ එම නගර සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ‍ආරම්භ කළේය.

කෙසේවෙතත් සාම්ප්‍රදායික වඩු මඩු පවත්වාගෙන යාමට තහනමක් පැනවීම සිදු නොවන අතර ජංගම ලී මෝල පමණක් 2022 දෙසැම්බර් 31 වන දිනෙන් පසු තහනම් වන බව සඳහන් කරමින් මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කළ අතර පරිසර රාජ්‍ය අමාත්‍යවරයාද ඒ බවට සහතික වුණි.

ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රීක් සංවිධායක සුජිත් පුෂ්පකුමාර මහතාද ඊයේ සත්‍යග්‍රහය පැවති ස්ථානයටම පැමිණ අදාල ගැටලුව අද දහවල් වන විට නිරාකරණය කර දෙන බවට පොරොන්දු වුණි.

කෙසේවෙතත් පොරොන්දු ඉටු නොවුණු බව පවසමින් වඩු කාර්මිකයන් මාරාන්තික උපවාසයකට සූදානම් වෙයි.‍

මෙවන් සත්‍යග්‍රහයට සහාය පළ කර සිටින මොරටුව නගරාධිපති සමන් ලාල් සිල්වා මහතාට අද අධිකරණයේ පෙනී සිටින ලෙසට මොරටුව දිසා අධිකරණය දී තිබූ නියෝගය ප්‍රකාරව අද ඔහු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

දිසා විනිසුරුවරයා එහිදී සඳහන් කර ඇත්තේ සාමකාමී මහජන විරෝධතා වැළැක්වීමට අධිකරණයට කිසිදු නෛතික බලයක් නොමැති අතර සත්‍යග්‍රහය මහජන පීඩාවක් නොවන අයුරින් සිදු කළ හැකි බවයි.

Read more

Local News