හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිට එරෙහි විමර්ශන අවසන්

Share

රුපියල් මිලියන 20ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට එරෙහිව විමර්ශන අවසන් කර චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

මෙම පැමිණිල්ල අද(11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට ලැබීය.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරුවන්ට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇති බවයි.

ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවද අල්ලස් කොමිසම අධිකරණය දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත සැප්තැම්බර් මස 10 වනදා කැඳවීමට නියම කළේය.

එදින මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන්ද මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමේ නිලධාරීන්ට නියම කළේය.

අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ 2018 වසරේ මැයි මස නව වන දා හෝ ඊට ආසන්න දිනයක කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය විකිණීමට අදාළ කටයුතු ඉටුකර දීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච් .කේ මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් දැනට අධිකරණය මගින් ඇප මත මුදාහැර තිබේ.

Read more

Local News