ගෝඨාගේ ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳ නියෝගය ජුලි 26 දා ප්‍රකාශයට

Share

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳ නියෝගය ජුලි මස 26 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.

එමෙන්ම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින මෙම නඩුවේ විභාගය අත්හිටුවමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය ජූලි මස 26 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමටද එම අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කරනු ලැබුවේය.

මෙම ප්‍රතිශෝධන පෙත්සම අද(14) කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවයේ ද නීතිඥවරු ඊට අදාළ ලිඛිත දේශනා අධිකරණයට භාර දුන්නේය.

ඉන් අනතුරුව ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳ නියෝගය ජූලි මස 26 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියම කළේය.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පසුගිය 2016 වසරේ මෙම නඩුව ගොනු කර තිබුණි.

හිටපු නාවික හමුදාපතිවරුන් වන සෝමතිලක දිසානායක, ජයනාත් කොළඹගේ, ජයන්ත පෙරේරා යන අයද එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.

ඊට අමතරව ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති, රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් බී.එගොඩවෙල, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න යන අයද මෙහි සෙසු විත්තිකරුවන් ලෙස මෙම නඩුවේ නම්කර තිබේ.

මෙම නඩුව ගොනු කිරිම සඳහා වූ අල්ලස් කොමිසමේ ලිඛිත අනුමැතිය එම කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර නොමැති හෙයින් එම නඩුව විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් ඒ අනුව නඩුව ප්‍රතික්ෂේප කොට සියලු විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කර තිබුණි.

එහෙත් එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අදාළ නඩුව විභාගයට තැබීම සඳහා දින නියම කළේය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ එම තීරණය නීති විරෝධී යයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එය ද විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමටයි කොළඹ මහාධිකරණය නියම කළේ.

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය මගින් ප්‍රකාශිත නියෝග නීති විරෝධී යැයි තීන්දු කොට ඒවා බලරහිත කර තමාන්ව එම චෝදනා වලින් නිදහස් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා තිබේ.

Read more

Local News