සටනකට ලාල්කාන්තගෙන් සියලු දෙනාට ආරාධනාවක්

Share

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම නතර කිරීමේ සටනට සියලූ දෙනාට ආරාධනය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා පවසයි.

අද (17) කොළඹ එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදි ඒ මහතා මේ බව පැවසීය.

වත්මන් ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට විකුණු අවස්තාවේදි එය විකිණීම කොළඹ වරායට යහපතක් වන බව පැවසු බවත් එම මුදලින් දැන් කොළඹ වරයේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කරන බවට පැවසු බවත් ලාල් කාන්ත මහතා පෙන්වා දෙයි.

මේ වනවිට දකුණු කොළඹ වරායත් විකුණා අවසන් බවත් නැගෙනහිර ජැටිය පමණක් කොළඹ වරායට ඉතුරුව පැවති බවත් ඒ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දියාව, ජපානය සහ වරාය අධිකාරිය එක්ව සමාගමක් බවට පත්කොට නැගෙනහිර ජැටිය විකිණීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්න කටයුතු කරමින් සිටින බවත් මේ ප්‍රයත්නය පරාජය කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

මේ සම්බන්දයෙන් වෘත්තිය සමිති මාර්ගයෙන් අරගල කිරීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ සම්බන්දයෙන් ප්‍රකාශයක් කළ යුතු බවත් ඒ මහතා පවසයි.

එහිදි වැඩිදුටත් අදහස් දැක්වු ලාල් කාන්ත මහතා,

” මහින්ද රාජපක්ෂ නිතරම කතා කරන්නේ දේශප්‍රේමය ගැන. නමුත් දැන් ඔහු වරාය විකිණීම ගැන ගොළු වෙලා.  දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ මතය මොකක්ද? ඔහු මේ රටේ විපක්ෂ නායකවරයා වෙලත් හිටියා.

ඔවුන් නිතරම කතා කරන්නේ දෙමළ ජනතාවගේ අයිතීන් ගැන. ඒ වගේම රාවුෆ් හකීම්ගේ මතය මොකක්ද? ඔහු නිතරම කතා කරන්නේ මුස්ලිම් ජනතාව ගැන. ඉස්ලාම් ආගම ගැන. ජාතික ප්‍රශ්න මඟහැරලා යනවා.

ඒ වගේම මේ වනවිට ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිසක් ගැන කියවෙනවා.

නැගෙනහිර ජැටිය විකණීම නතර කරන්න අපි තනිවම සටන් කළොත් ඒ සටන ජයගන්න බැරිවෙනවා. නමුත් මේ සටන ජයගත යුතුව තිබෙනවා. හම්බන්තොට වරාය විකුණනකොට අපි සටනක් කළා. ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළා.

නමුත් විකුණන එක නතර කරගන්න බැරිවුණා. ඉඩම් ටිකක් බේරගන්න පුළුවන් වුණා. දකුණු කොළඹ වරාය චීනයට දුන්නා. නමුත් ඒ වෙලාවේ සැලකිය යුතු සටනක් පැනනැගුණේ නැහැ.

මෙතන තව ප්‍රශ්නයක් තිබෙනවා. දැන් චීනයට අයිති දේපළ ලංකාවේ තිඛෙනවා. එම දේපළ ආරක්ෂා කරගන්න චීනය විසින් චීන හමුදාවක් ලංකාවට එවීම ගැන සාකච්ඡා ඇතිවෙලා තිබෙනවා. මෛත්‍රීපාල ජනාධිපතිවරයා චීනයට ගියපු වෙලාවේ ඒ සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිවුනා කියලා වාර්තා වෙලා තිබෙනවා.

ඒ වගේම දැන් ඉන්දියාවට අයිති දේපළත් ලංකාවේ ඇතුලේ තිඛෙනවා. ඒ නිසා අනාගතයේදී ලංකාවේ තිබෙන ඉන්දීය දේපළ ආරක්ෂා කරන්න කියලා ඉන්දියාවේ හමුදාවත් ලංකාවට එන්න ඉඩ තියෙනවා. මේක ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක්.

අපේ රටේ අවුරුදු 70ට වඩා වැඩි දේශපාලන පප්පලා ටිකක් තමයි මේ දේශපාල තීරණ ගන්නේ. තවමත් දේශපාලනය අත්හැරලා යන්න හිතක් නැහැ. අන්තිම දවස් ටිකෙත් තාන්න මාන්න අරගෙන සැප විඳින්න තමයි කල්පනාව.

අපි විවිධ සටන් ක්‍රියාමාර්ග රැසක් දියත් කිරීමට තීරණය කරලා තිඛෙනවා. වරාය පිවිසුම් දොරටු අසල සත්‍යග්‍රහ ව්‍යාපාරය, කොටුවේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ග, මත විමසුම් ආදී ක්‍රියාමාර්ග රැසක් සංවිධානය කරලා තිඛෙනවා.  සිංහල, දෙමළ, මුස්ලිම් කියලා භේදයක් නැතුව බෞද්ධ, ඉස්ලාම්, ක්‍රිස්තියානි කතා පැත්තකින් තියලා මේ සටනට එකතු වෙන්න සියලූ දෙනාට සිදුවෙනවා.”

Read more

Local News