පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අඩපණ වීමේ අවධානමක් ?

Share

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සිදුකරන පරීක්ෂණ නිසි ක්‍රමවේදයකට අනුව සාධාරණව සිදු නොවුනහොත් ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ ගැටළු ඇතිවිය හැකි බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.

“මේ වන විට මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් ඇති බව පවසමින්  මුස්ලිම් අමාත්‍යවරු සිය තනතුරු වලින් ඉල්ලා අස් වී තිබෙනවා. එම ඉල්ලා අස්වූ අමාත්‍යවරු අතර රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාද සිටියා.

මේ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණ ගැන රටේ මහජනතාව දෑස් ඇරගෙන බලාගෙන ඉන්නේ. මට පේන විදිහට නම් මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සහ මෙම ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳ කෙරෙන පරීක්ෂණ මුස්ලිම් ඇමතිවරු දැන් පටලවාගෙන තිබෙන්නේ.

ජනාධිපතිවරණයේදී හෝ වෙනත් ජාතික මැතිවරණයක දී තමන්ට ලැබෙන ඡන්ද ගැන හිතලා ඡන්ද ආරක්ෂා කර ගන්න යාමෙන් රට අස්ථාවර වෙනවා.

දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් කරන ක්‍රියාවලිය හේතුවෙන් වෙන්න පුළුවන් දේ පිලිබදවමේ වන විටත් ඉගි පලවෙලා තියනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අඩපණ වීමේ අවධානමක් මේ වන විට මතුවෙලා තිබෙනවා.

ඒ වගේම දේශපාලන වාසි ලබා ගන්න යන දේශපාලන නායකයන් සියළු දෙනා දේශපාලන න්‍යාය පත්‍ර වලට කටයුතු කරන්න යාමෙන් මිය ගිය හෝ තුවාල ලැබූ ජනතාවට සාධාරණයක් ඉටුවන්නේ නැහැ. මේ හේතුවෙන් ජනතාවගේ සිත්තුළ ඇතිවන්නේ වෛරයක්.

රට පුරා පසුගිය කාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් වල සක්‍රිය බවක් දැන් පේන්න නැහැ. ඒ පිලිබද උන්නදුවක් පේන්නත් නැහැ. මේ ත්‍රස්තවාදයට උල්පන්දම් දුන් පිරිස්, මුදල් දුන් පිරිස පිළිබදව හෝ දේශපාලන රැකවරණය දුන් පිරිස පිළිබද පරීක්ෂණයක් හෝ නිතිමය ක්‍රියාමාර්ග ගැනීමක් මේ වන තෙක් සිදුව නැහැ.

මේ ගැන ජනතාව අවධානයෙන් ඉන්නේ. පරීක්ෂණ නිසි ක්‍රමවේදයකට අනුව සාධාරණව සිදු නොවුනහොත් ආණ්ඩුවේ පැවැත්ම පිලිබඳ ගැටළු ඇතිවිය හැකි බවයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් සදහන් කළේ“

Read more

Local News