අගුණකොළපැලැස්ස බන්ධනාගාර සිද්ධියේ පෙත්සම සලකා බලන්න දින නියම කරයි

Share

ඉකුත්දා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් පිරිසකට එහි නිලධාරීන් පිරිසක් පහර දුන්නේ යැයි කියන සිද්ධිය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වන මෙන් පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 09වනදා කැඳවන මෙන් අභියාචනාධිකරණය නියම කළේය.

සිරකරුවන් සුරැකීමේ ව්‍යාපාරයේ සුදේශ් නන්දිමාල් ද සිල්වා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම අද (17) අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී අදාළ පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 09 වනදා කෑදවන ලෙසයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියන් පිරිසක් ඉකුත්දා එහි නිලධාරීන් පිරිසක් විසින් දැඩි ලෙස පහරදී අමානුෂික වද හිංසාවලට බඳුන් කළ බවයි.

ඒ පිළිබඳව තමන් පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කළ ද මේ දක්වා ස්වාධීන පරීක්ෂණයක් සිදුවී නොමැති බව පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේය.

මේ හේතුවෙන් අදාළ සිද්ධිය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන මෙන් ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News