කාත්තන්කුඩි OIC හා හිටපු OIC පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

Share

කාතන්කුඩි පොලිසියේ වත්මන් ස්ථානාධිපතිවරයා සහ හිටපු ස්ථානාධිපතිවරයා අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවා තිබේ.

එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ, තවත් මුස්ලිම් සංවිධානයක් ද අද පැවැත්වෙන කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි, ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ, සාක්ෂි ලබාදීම සඳහා පැමිණෙන ආරක්ෂක අංශ හෝ රාජ්‍ය නිලධාරීන් ජාතික ආරක්ෂාවට බලපාන කරුණු ඉදිරිපත් කරන්නේ නම් ඔවුන්ගේ ඉල්ලීම මත එම අවස්ථාවේ පමණක් කාරක සභාවේ කටයුතු මාධ්‍යයට විවෘත කිරීම තාවකාලිකව අත්හිටුවීමට සැලසුම් කර ඇති බවයි.

සාක්ෂි ලබා දීමට පැමිණෙන නිලධාරීන් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ද, සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර මෙම විශේෂ කාරක සභාව හමුවට ආරක්ෂක සේවයේ දැනට යෙදී සිටින නිලධාරින් සහභාගි නොකරන බවත්, එහි වගකීම තමන් දරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 07 වන දා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් හමුවේ ප්‍රකාශ කළේ ය.

ඒ අනූව අද දිනයේ කාත්තන්කුඩි පොලීසියේ වත්මන් ස්ථානාධිපතිවරයා විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීම සම්බන්ධයෙන් මතුව ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි.

කෙසේ වෙතත් අදාළ උපදෙස් නොලැබුණහොත් ඔහු විශේෂ කාරක සභාව හමුවේ අද පෙනී නොසිටිනු ඇති.

කාරක සභාවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත්, අතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් කාරක සභාවේ සභාපති ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ ය.

මේ අතර අප්‍රේල් 21 වන දා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා සමාජිකයින් සහ කතානායක කරු ජයසූරිය මහතා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වේ.

කාරක සභා සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළේ, කාරක සභාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ බවයි.

ඒ අනුව, අද පෙරවරු 11 .30ට කතානායක කාර්යාලයේදී එම හමුව සිදුවීමට නියමිතයි.

Read more

Local News