අකිල ක්‍රීඩාවේ උන්නතියට සහය වෙයි

Share

ජාත්‍යන්තර, ජාතික හා පළාත් මට්ටමේ ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩා පිටියේ දක්ෂයන් පාසල් ක්‍රීඩාව නංවාලීම සඳහා බඳවා ගැනීමට ප්‍රමුඛත්වය ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ දී පසුගියදා පැවැති පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් 548 දෙනෙකු සේවාරම්භක පුහුණුව නිමා කර විසිර යෑමේ පත්වීම් ප්‍රදානෝත්සවය අමතමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් 3880 ක් බඳවා ගැනීමේ දී බලපෑම් රාශියක් එල්ල වූ බවත්, මෙම ක්‍රීඩා පුහුණුකරු පුරප්පාඩු පිරවීමේ දී පළාත් සභා කිහිපයක එකඟතාව නොමැති වීම මත, පළාත් සභාවලට එම පුහුණුකරුවන් අනුයුක්ත කර නොගැනීම හා වැටුප් ලබාදීම යනාදී ගැටලු රැසක් මතු වූ බවත්, සමාජ මාධ්‍ය ජාලා මෙන්ම ඇතැම් පුද්ගලයන් අභූත චෝදනා, මඩ ප්‍රහාර එල්ල කළ ද කෙසේ හෝ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මෙම බඳවා ගැනීම් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සිදු කිරීමට හැකි වීම සතුටට කරුණක් බව ද ප්‍රකාශ කළේය.

තවද, එම කාර්යය ඉටු කර ගැනීමට සහය වූ වත්මන් අගමැතිතුමා, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ මුදල් අමාත්‍යාංශයට ද සිය  ස්තුතිය පළ කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ, මෙම පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් සෑම ක්‍රීඩාවක් සඳහාම පුහුණුවක් ලද අයවලුන් වන බැවින්, ඔවුන් තම දැනුම නිරන්තරයෙන් වැඩිදියුණු කර ගැනීමට වගබලාගත යුතු බවයි.

එමෙන්ම ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා මාතාවට දායාද කිරීම සඳහා නොපසුබස්නා වීර්යයෙන් කටයුතු කිරීමට සෑම පුහුණුකරුවෙක් ම අධිෂ්ඨාන කර ගත යුතු බව ද පැවසූ අමාත්‍යවරයා, ක්‍රීඩා පුහුණුකරුවන් අතරින් ඉහළම ලකුණු හිමිකර ගන්නන් ඉදිරියේ දී විදේශීය පුහුණුව  ලබාදීමට ද කඩිනමින් කටයුතු සලසන බව වැඩිදුරටත් පවසන ලදී.

මෙම පුහුණුකරුවන් අද (18) දින ඔවුන් අනුයුක්ත කර ඇති පාසල්වල වැඩ භාර ගැනීමට නියමිතයි.

Read more

Local News