ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයෙන් බේරීමට තවත් ලකුණු 384ක්

Share

නාග්පූර් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 205ට පිළිතුරු ලෙස ඉන්දියාව මුල් ඉනිමේදී කඩුලු හයකට ලකුණු 610ක් ලබා මුල් ඉනිමේදී ලකුණු 405ක් ඉදිරියෙන් සිටීමට සමත්විය.

ශ්‍රී ලංකා තෙවන දින අවසාන භාගයේ දෙවන ඉනිම සඳහා ඕවර නවයකට පමණක් මුහුණදෙමින් කඩුල්ලක් දැවී ලබා සිටියේ ලකුණු 21කි. ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරිමට තවත් ලකුණු 384ක් අවශ්‍යව සිටියේ කඩුලු නවයක් ඉතිරිව තිබියදීය.

කඩුලු 6ක් දැවී ලකුණු 610ක දැවන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කර සිය පළමු ඉනිම අත්හිටවීමට ඉන්දීය පිල තීරණය කරයි.

ඉන්දියාවට මෙතරම් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට දායක වූ නායක විරාට් කෝලි ලකුණු 213ක් ද, මුරලි විජේ ලකුණු 128ක් ද, චෙටේෂ්වාර් පූජාරා ලකුණු 143ක් ද, රෝහිට් ෂර්මා නොදැවී ලකුණු 102ක් ද රැස් කළහ. මෙහිදී මුරලි විජේ සහ පූජාරා ලකුණු 209ක සබඳතාවක් ද, පූජාරා සහ කෝලි ලකුණු 183ක සබඳතාවක් ද, කෝලි හා රෝහිට් ෂර්මා ලකුණු 173ක සබඳතාවක් ද තබා ගත්හ.

ඉන්දීය නායක, විරාට් කෝලි පන්දු 267ක දී හතරේ පහර 17ක් සහ හයේ පහර දෙකක් සමඟ ලකුණු 213ක් ද, පූජාරා පන්දු 362ක දී හතරේ පහර 14ක් සමඟ ලකුණු 143ක් ද, රෝහිට් ෂර්මා පන්දු 160ක දී හතරේ පහර අටක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 102ක් ද ලබා ගත්හ.

ඉන්දීය නායක, කෝලි මෙදින ලැබුවේ තම පස්වන ද්විත්ව ශතකයයි. ඔහුට වඩා ඉන්දියාව වෙනුවෙන් ද්විත්ව ශතක ලබා ඇත්තේ සචින් ටෙන්ඩුල්කා සහ විරේන්ද්‍ර ෂෙවග් පමණෙකි. එමෙන්ම, කෝලි මෙදින ශතකයක් ලබන විට ඔහු ඉන්දියාව වෙනුවෙන් ශතක වැඩිපුරම ලැබූ ඉන්දීය නායකයා බවට ද පත්විය. රෝහිට් ෂර්මා මෙදින වේගවත් ශතකයක් ලැබූ අතර, වසර හතරකට පසු ඔහු ලැබූ ටෙස්ට් ශතකය මෙය වේ.

ශ්‍රී ලංකා පන්දු වයන්නන් අතුරින් දිල්රුවන් පෙරේරා ලකුණු 202ක් දී කඩුලු තුනක් දවාලූ අතර, ළහිරු ගමගේ ලකුණු 97ක ට කඩුල්ලක් ද, හේරත් ලකුණු 81ක ට කඩුල්ලක් ද, දසුන් ශානක ලකුණු 103ක ට කඩුල්ලක් ද ලබාගත්හ.

ශ්‍රී ලංකාව දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ඉෂාන් ෂර්මා යැවූ ප්‍රථම ඕවරයේ දෙවන පන්දුවම කඩුල්ලේ වැදී ආරම්භක පිතිකරු, සධීර සමරවික්‍රම දැවී ගියේ ලකුණක්වත් නොලබාමය. තරගය නතර කරන විට දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 11ක් ද, ළහිරු තිරිමාන්න නොදැවී ලකුණු 09ක් ද ලබා සිටියේ ය.

මේ තරගයේ සිව්වන දිනයේදී (27) ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයෙන් බේරීමට, දෙවන ඉනිමේදී තවත් ලකුණු 384ක් ලැබිය යුතු වේ.

Read more

Local News