තිස්සමහාරාමයේ දරුවා නිරාහාරව මියයෑම ගැන පරීක්ෂණයක් කඩිනමින් පවත්වන්න

Share

තිස්සමහාරාම නැදිගම්වල ග්‍රාම නිලධාරී වසමට අයත් විජයපුර ප්‍රදේශයේ මාස 11ක දරුවකු නිරාහාරව මිය යාම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කඩිනමින් පවත්වන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කම්ටුවේ සභාපති, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා වෙත දැනුම් දී ඇත.

සෑම ග්‍රාම නිලධාරී වසමක් ආවරණය වන පරිදි සමෘද්ධි නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී සහ කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන නිලධාරී ලෙස සෘජුව ජනතාව සමඟ සමීපව කටයුතු කරන නිලධාරීන් සිටියදී මෙවැනි සිද්ධියක් වුයේ කෙසේද යන්න පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමු කළ යුතු බවද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා උපදෙස් දී ඇත.

මෙහිදී රාජ්‍ය අමාත්‍යතුමා දිස්ත්‍රික් ලේකම් වෙත දැනුම් දුන්නේ දරුවකු බිහිවූ දින සිට අවම වශයෙන් වසරක් යන තෙක් එම ළමයා පිලිබඳව නිරන්තර නිරීක්‍ෂණය සඳහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී සොයාබලනවා, නිවෙසින් නිවස සතිපතා මෙම නිලධාරීන් යනවා. එහිදී මෙම දරුවා පිළිබඳ නිරීක්‍ෂණය නොවුයේ මන්ද. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරීන් සමෘද්ධි සහනාධාරය ලබාදීම පිලිබඳව සොයාබැලීමට නිවසින් නිවෙස වෙත ගියා. ඔවුන්ට මෙම දරු පවුල හමු නොවුණා ද, යන්න පිළිබඳ බරපතල ගැටළුවක් බවය.

නිවසේ මූලිකයා යම් මන්ද මානසික තත්වයකින් පෙළෙමින් සිටින බව දැන ඔහු සමෘද්ධි සහනාධාරය එපා යැයි පැවසීම නිසා සමෘද්ධි සහනාධාරය නොදුන් බවට නිලධාරීන් කරන ප්‍රකාශ පිළිගත හැකිද යන්න පිළිබඳවත්, සොයාබැලීම සඳහා විමර්ශන කණ්ඩායමක් පත් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා දිස්ත්‍රික් ලේකම් වෙත උපදෙස් දී තිබේ.

Read more

Local News