පොලිස් නිලධාරීන් 09 දෙනාට අදාළ විමර්ශන අරඹයි

Share

පාස්කු ප්‍රහාරයට අදාළ පොලිස් නිලධාරීන් 9 දෙනා සම්බන්ධයෙන් නීතිපතිගේ උපදෙස් මත විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව වැඩබලන පොලිස්පති වරයා විසින් අද(21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම වාර්තා යොමු කරනු ලද අතර, ඊට අමතරව මුලික විමර්ශන පැවැත්වීම සඳහා පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය වෙත ද යොමු කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට හෝ අවම කරගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් නවදෙනෙකුට එරෙහිව  අපරාධ විමර්ශනයක් ආරම්භ කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ(20) දන්වා තිබිණි.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරන නිලධාරීනි අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළේ, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විශේෂ කමිටුවේ නිර්දේශ මත මෙම උපදෙස් ලබාදී ඇති බවයි.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත අද දින ලිපියක් යොමුකරමින්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ඇතුළු නිලධාරීන් නවදෙනෙකුට අපරාධ විමර්ශනයක් ආරම්භ කිරීමට උපදෙස් දී තිබිණි.

වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා දන්වා යවා ඇත්තේ, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විශේෂ කමිටුවේ නිර්දේශ අනුව විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ අවධානයට යොමුකර සුදුසු පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති, බස්නාහිර උතුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති සහ විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මෙන්ම, මීගමුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරීවරයා, කොළඹ උතුර භාර පොලිස් අධිකාරීවරයා, මීගමුව දිසාව 3 සහ 4 භාර සහකාර පොලිස් අධිකාරීවරුන්, කටාන පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ ජම්පටා පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා අදාළ නිලධාරීන් වෙයි.

Read more

Local News