ඇලෝසියස් ඇතුළු හතර දෙනකුට එරෙහි පැමිණිල්ල අගෝස්තු 29 දා යළි කැඳවයි

Share

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු සහ ලබාගත් දුරකතන ඇමතුම් මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සමාගමේ අර්ජුන ඇලෝසියස් ඇතුළු සැකකරුවන් හතර දෙනකුට එරෙහිව රහස් පොලිසිය විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අගෝස්තු මස 29 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද(25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමේ විමර්ශන සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු සහ ලබාගත් දුරකථන ඇමතුම් අඩංගු සංයුක්ත තැටි එම සමාගම විසින් අදාළ කොමිසම වෙත භාරදී තිබුණි.

එහි ඇතැම් ඇමතුම් මකා දමා තිබෙන බවට එම කොමිසම හමුවේ කරුණු අනාවරණය විය.

ඒ අනුව අදාළ සිද්ධිය පිලිබඳව පරීක්ෂණයක් සිදුකරන මෙන් අදාල කොමිසම විසින් රහස් පොලිසියට නියෝගයක් කර තිබු අතර ඒ අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ දුරකතන ඇමතුම් අඩංගු සංයුක්ත තැටි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබුණත් එහි පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව දැනූම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සංයුක්ත තැටි පිළිබඳ විශ්ලේෂණ වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරමින් දන්වා රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහිකැඳවීමක් යොමු කිරීමට නියම කළේය.

අනතුරුව පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අගෝස්තු මස 29 දා ඉදිරිපත් කරන මෙන් ද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියම කළේය.

එම පැමිණිල්ලේ සැකකරුවන් ලෙස පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන ඇලෝසියස්, කසුන් පලිසේන, නුවන් තිලිණ සල්ගාදු සහ සචින් දේවතන්ත්‍රී යන අය නම් කර තිබේ.

Read more

Local News