ජනපති හා අගමැති ප්‍රහාරයට වගකිව යුතුයි

Share

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් වගකිව යුතු බව හිටපු අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහාතා පැවැසීය.

වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“ඔක්කොම අහෝසි කරනවා කියපු එක්කෙනා තමයි දැන් කියන්නේ පරණ තත්ත්වයට ආපසු ගෙනියන්න කියලා. එනකොට ආවේ ඔහොම නෙමෙයි දැන් වෙන වෙන හීන දකිනවා.

19න් (ව්‍යවස්ථා සංශෝධනයෙන් රට) අස්ථාවර වුණේ නෑ. ජනපතිගේ කල් ක්‍රියාවෙන් රට අස්ථාවර වෙලා තිබෙනවා.

එනකොට ඕක ගැන දැනගෙන හිටියේ නැත්නම් නිදාගෙන ඉන්න ඇති. දැන් ජනපතිවරණයක් ළඟ එන හින්දා එක එක අයට එක එක උණ හැදෙනවා.

රටේ ආරක්ෂාව ගැන ජනපති වග කියන්න ඕන වගේම අගමැතිත් වග කියන්න ඕන. මම දැක්කා ජනපතිත් අගමැතිත් සමහර තැන්වල කියලා තිබුණා දැන් ප්‍රශ්නේ ඉවරයි. ඔක්කොම අත්අඩංගුවට අරගෙන ඉවරයි හිර කරලා ඉවරයි කියලා.

නමුත් ඉන්දියාවේ බුද්ධි අංශ රුසියාවේ බුද්ධි අංශ කියනවා තාම මේක ඉවර නෑ තත්ත්වය භයානකයි කියලා. මේ ප්‍රශ්ණය පටන් ගත්ත වෙලාවේ මම කිව්වා අවුරුදු දෙකක්වත් යයි කියලා.

ජනතාව අවධානයෙන් ඉන්න ඕන. මේ ප්‍රශ්නය මෙතනින් ඉවරයි කියලා හිතනවානම් ඒ හිතන මිනිහා නොම්මර එකේ මෝඩයෙක්”

Read more

Local News