අකිල පෙළපොත්වලට පණිවුඩයක් ඇතුළත් කළේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දුරගමනක් යන්නද?

Share

අධ්‍යාපන අමාත්‍යවරයාගේ පණිවුඩය සහිතව පෙළ පොත් මුද්‍රණය කිරීම නිසා රජයට විශාල පාඩුවක් සිදුකර ඇති බවත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ දුරගමනක් යාමට අවශ්‍ය නිසා  පෙළපොත්වලට පණිවුඩයක් ඇතුළත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තමාගෙන් ඉල්ලා සිටි බවත් සඳහන් කරමින් හිටපු වැඩබලන අධ්‍යාපන කොමසාරිස් එල් එම්. කේ. බී. ඉලංගසිංහ මහතා විසින් පසුගිය දා පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍යවලට ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.

මේ සම්බන්ධ ව නිවැරදි තත්වය සමාජගත කිරීම අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පැවති අතර, එහි දී අමාත්‍යවරයා කියා සිටියේ, අගමැතිතුමාට පමණක් දෙවැනිව ලංකාවේ ලක්ෂ තුනක වැඩිම මනාප ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ තමාට ප්‍රතිරූපය ගොඩනගාගන්නට පෙළ පොත්වල පණිවුඩ ඇතුළත් කිරීමට අවශ්‍ය නොවන බවයි.

එමෙන් ම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් අවුරුදු තුනහමාරක කාලයක් තුළ විශාල වැඩකොටසක් සිදුකළ ද කිසිදු ආකාරයක චෝදනාවක් තමා වෙත එල්ල නොවූ බවත්, සියලු චෝදනා එන්න පටන්ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්ධුරයට පත් වූ  පසුව බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

එහෙත් 1980 වසරේ පාසල් සිසුන්ට නොමිළයේ පෙළපොත් ලබාදීම ආරම්භ කළ දා සිට ම අධ්‍යාපන අමාත්‍යවරයාගේ පණිවුඩයක් සියලු පෙළ පොත්වල අන්තර්ගත ව පැවති බවයි.

එමෙන් ම පණිවුඩයට ඡායාරූපයක් එක්කිරීමෙන් පමණක් පෙළ පොත මුද්‍රණයට අමුතුවෙන් පිරිවැයක් එක් නොවන හෙයින් සහ ඒ පිළිබද හිටපු වැඩබලන අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්වරයාගෙන් තමා විසින් විමසා සිටි අවස්ථාවේ විශේෂ පිරිවැයක් යෙදීමට සිදු නොවන බවට තහවුරු කළ බවත්, ඒ නිසා පණිවුඩයට ඡායාරූපය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් තමා එකගවූ බවත් මෙහි දී අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.

එහෙත් හිටපු වැඩබලන අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍ය වෙත අදහස් පළ කර ඇති බවට සඳහන් වන්නේ, දේශපාලන ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් පෙළ පොත්වල ඇතුළත් කරන ලෙස අමාත්‍යවරයා තමාගෙන් ඉල්ලා සිටි බවයි. එසේවුවත් ඔහු විසින් අධ්‍යාපන ලේකම්වරයාට දිවුරුම් ප්‍රකාශයකින් දන්වා ඇත්තේ, තමා විසින් මාධ්‍යවල පළ වූ ප්‍රකාශය සිදු නොකළ බවයි.

මේ පිළිබද අදහස් පළ කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, දේශපාලන ප්‍රතිරූපය ඉහළ නංවාගැනීම වෙනුවෙන් කටයුතු කරන ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නට අවශ්‍ය නොවන බවත්, අවශ්‍ය නම් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන්  තමාට ඉල්ලීම් වෙනුවට නියෝග ලබාදිය හැකි බවත්, ගත වූ වසර පහක කාලය පුරාවට කිසිදු අවස්ථාවක නිලධාරීන්ගෙන් එවැනි ඉල්ලීම් කිසිවිටෙකත් තමා විසින් සිදු කර නොමැති බවත් ය.

වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, මේ සම්බන්ධ ව හිටපු කොමසාරිස්වරයා විසින් උපදෙස් ලබාදුන් ආකාරය දැක්වෙන ලිපිගොනු සටහන් ද මාධ්‍ය හමුවේ ඉදිරිපත් කළා. එහි දී සිව්වර්ණයෙන් (Four Color )  සහ ද්විවර්ණයෙන් (Black and White) පළ වන සියලු පෙළ පොත්වල සිව්වර්ණයෙන් ඇමතිතුමන්ගේ පණිවුඩය ඇතුළත් කළ යුතු බව එතුමන්ගේ හැඟීම ලෙස සටහන් කරමින් අධ්‍යාපන ලේකම්තුමාගේ උපදෙස් අපේක්ෂා කර ඇති බවත්, යම්හෙයකින් එතුමන්ගේ හැඟීමේ හැටියට පෙළ පොත්වල පණිවුඩය යෙදීමට තීරණය වූවා නම්, අතිරේක පිරිවැයක් වැයවීම වැළැක්විය නොහැකි බව ද, ඉහළ නිලධාරීන්ගේ දූරදර්ශී තීරණ මත එවැනි තත්ත්වයක් මතු නොවූ බව ද සඳහන් කළේය.

එමෙන් ම හිටපු වැඩබලන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා 2016 වසරේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සැපයීම් අංශයේ කටයුතු කරන අවධියේ දී සිදුව ඇති මූල්‍ය කළමනාකරණය සහ විවිධ වංචා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකොට ඇතිබවත්, ඒ සම්බන්ධ ව චෝදනා පත්‍රයක් ද නිකුත් වීමට සිටි අයෙක් බවත් අමාත්‍යවරයා මෙහි දී අනාවරණය කරයි.

මෙම සාවද්‍ය ප්‍රකාශ සිදුකර ඇති මාධ්‍ය ආයතනවලට එරෙහි ව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලමින් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමා කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

වැරදි මත සමාජගත වුවහොත් උසාවියට ගොස් නිවැරදිභාවය ඔප්පු කළ ද, ඒ වනවිට සිදුවිය යුතු අගතිය අවසන්ව ඇති බැවින් වගකීම්සහගත ව ජනමාධ්‍ය වාර්තාකරණයෙහි යෙදෙන ලෙස සියලු ජනමාධ්‍යවේදීන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

පසුගිය දින 52ක කාලය තුළ අවනීතිකව බලයට පත් වූ අධ්‍යාපන ඇමතිවරයා විසින් තම ඡායාරූපය සහිත පණිවුඩය ඇතුළත් කර ඇති නිසා, එය ඉවත් කර හිස් පිටුවක් සහිතව ඉදිරිපත් කිරීමට උපදෙස් ලබාදී ඇති බවද, එවැනි පටු දේශපාලන තීන්දු හේතුවෙන්  මේ වසරේ දරුවන්ට පෙළපොත් බෙදාහැරීම පවා ප්‍රමාද කළ බව ද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ හෙළි කළා.

මෙහි දී අදහස් පළ කළ වර්තමාන අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජයන්ත වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේ, මේ සම්බන්ධ පළ වූ මාධ්‍ය ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත්, අධ්‍යාපන අමාත්‍යවරයාගේ පණිවුඩය ඇතුළත් කිරීමෙන් කිසිදු ආකාරයක අතිරේක පිරිවැයක් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට දැරීමට සිදුව නොමැති බවත් ය.

පෙළපොත් මුද්‍රණ ක්‍රියාවලිය සිදුවන ආකාරය, පිරිවිතර ඇතුළත් කොට මිළගණන් කැඳවන ආකාරය, මිළ ගණන් නිර්ණය වන ආකාරය සහ මුද්‍රණ ක්‍රියාවලිය සිදුවන ආකාරය සම්බන්ධ තාක්ෂණික සහ විෂය කරුණු පැහැදිලිකිරීමක් මෙහි දී හිටපු ප්‍රකාශන කොමසාරිස් පද්මිණී නාලිකා මහත්මිය විසින් සිදු කළේය.

මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම් එන් රණසිංහ, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, මුද්‍රිත හා විද්‍යුත් ආයතන රැසක් නියෝජනය කරමින් මාධ්‍යවේදීන් රැසක් ද  එක්ව සිටියේය.

Read more

Local News