සරත් එන් සිල්වාට එරෙහි පැමිණිල්ල සලකා බැලීම කල්යයි – තවත් විනිසුරුවරයෙක් ඉවත්වෙයි

Share

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල සලකා බැලීම නැවත සැප්තැම්බර් මස 30 වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.

මෙම පැමිණිල්ල අද(28) සලකා බැලීම සඳහා සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී විනිසුරු සිසිර ද ආබෲ මහතා සඳහන් කර ඇත්තේ තමා මෙම පෙත්සම සලකා බැලීමේ කටයුතු වලින් ඉවත්වන බවයි.

ඒ අනුව මෙම පැමිණිල්ල සලකා බැලීම සැප්තැම්බර් මස 30 වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන මහත්වරුද මීට පෙර මෙම පැමිණිල්ල සලකා බැලිමේ කටයුතු වලින් ඉවත් වී තිබුණි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන චන්ද්‍රගුප්ත තේනුවර, ප්‍රශාන්ත ගුණවර්ධන සහ මහාචාර්ය හේවා වඩුගේ සිරිල් යන මහත්වරු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් දෙසැම්බර් මස තුන්වනදා මරදාන ප්‍රදේශයේ පැවති මහජන රැළියකදී කරුණු දැක්වූ හිටපු අගවිනිසුරු සරත්. එන් .සිල්වා මහතා පසුගියදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගය පිළිබඳව දැක්වූ අදහස් තුලින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවයි.

ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දු කොට සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News