රෝහල්ගත වන රෝගීන් වැඩ්පුර පානය කරන්නේ මොනවද ?

Share

ඖෂධ වර්ග අධික ලෙස පානය කර රෝහල්ගත වන රෝගීන් අතරින් වැඩි පිරිසක් පානය කර ඇත්තේ පැරසිටමෝල් ඖෂධ අධි මාත්‍රා බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය  සමන්ත ලියනගේ මහතා පැවසුවේය.

වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ගත හැකි ඖෂධයක් වීමත්, ඕනෑම ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකියාව ලැබීමත් මෙයට හේතු වී ඇති බව ඔහු පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ  (27දා) පැවැති මාධ්‍ය හමුවකදීය.

එසේම රෝගින්ට නිර්දේශිත ඖෂධ දින කිහිපයකට සෑහෙන ලෙස එකවර මිලදීගෙන නිවෙස් තුළ තබාගැනීමට හැකිවීම මත වැඩිහිටියන් සමග උරණ වන දරුවන් සියදිවි නසාගැනීම සඳහා එම ඖෂධ පානයට යොමුවන අවස්ථාද බහුල බව ඔහු කීය.

මෙම තත්ත්වයන් මඟ හරවාගැනීම වෙනුවෙන් සියදිවි නසාගැනීමට හේතු කාරණා වන සමාජ ආර්ථිකමය ගැටලුවලට පිළියම් යෙදීමත්, පැරසිටමෝල් වැනි ඖෂධ වෛද්‍ය නිර්දේශයකින් තොරව මිලදී ගැනීමට ඇති හැකියාව වළක්වමින් නීති සම්පාදනය කිරීමත් අවශ්‍ය බවද වෛද්‍යවරයා පැවසුවේය.

”විෂවීම් නිසා රෝහල්ගත වන රෝගීන් අතරින් ඖෂධ විෂවීම් ගත්තාම පැරසිටමෝල් අධික ලෙස පානය කිරීම හේතුවෙන් තමයි අධික රෝගීන් පිරිසක් රෝහල්ගත වෙන්නේ. මේ නිසා ජීවිත හානි පවා සිදුවෙනවා. පැරසිටමෝල් ඕනෑම ප්‍රමාණයක් ඕනම තැනකින් මිලදීගන්න පුළුවන් වෙලා තිබීම මේකට හේතු වෙලා තියෙනවා.

මේ නිසා නීති සම්පාදනය කරන්න අවශ්‍යයි මේවා මිලදීගැනීම් සීමා කරන්නට. ඒ වගේම විවිධ රෝග සඳහා නිර්දේශ කරන ඖෂධ තොග වශයෙන් නිවෙස් තුළ තබාගන්නවා. ළමයි අම්මලා, තාත්තලා එක්ක රණ්ඩු වුණ ගමන් මේ ඖෂධ පානය කරනවා. මේ නිසා තමයි ඖෂධ විෂ වීම් වැඩි වෙලා තිබෙන්නේ.”

විෂවීම් නිසා රෝහල්ගත වන කාන්තාවන් ගණන පිරිමින්ට සාපේක්ෂව වැඩි වුණත් විෂවීම් නිසා මියයන පිරිමින් සංඛ්‍යාව කාන්තාවන්ට වඩා වැඩි බව මෙහිදී වෛද්‍යවරයා පැවසුවේය.

ඒ බව පැහැදිලි කළ හෙතෙම,

“විෂවීම් නිසා පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් වැඩි පිරිසක් රෝහල්ගත වෙනවා. නමුත් විෂවීම් නිසා මියයන පිරිස ගැන බැලුවම කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින් වැඩි බවයි පෙනී යන්නේ. ඊට හේතුවන්නේ නිවෙස්වල පීඩනය වැඩියෙන්ම දරාගන්න බැරි පිරිස බවට පත්වන කාන්තාවන් සියදිවි නසාගැනීමටත් නිවැසියන් බිය වැද්දීමටත් වස පානය කරනවා.

නමුත් ඔවුන් මේ අවස්ථාවලදී විෂවන දේවල් පොඩි ප්‍රමාණයක් පානය කරනු දැකගන්නට පුළුවන්. නමුත් පිරිමි අයගේ ආවේගශීලීත්වය වැඩි නිසා දිවි තොර කරගැනීමට වැඩි ප්‍රමාණයක් වස පානය කරනු ලබනවා. ඒ හේතුව නිසාත්, මත්පැන් පානය කර සිටිද්දී වස පානය කිරීමත් නිසා ප්‍රතිකාර කිරීම් අපහසු තත්ත්වයට පත්වීම මත පිරිමි අය බහුතරයකගේ ජීවිත අහිමි වෙනවා” යනුවෙන්ද පැවසුවේය.

Read more

Local News