බෞද්ධ අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් පිරිවෙන් ශක්තිමත් කිරීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගන්නවා

Share

බෞද්ධ අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් පිරිවෙන් ශක්තිමත් කිරීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගැනීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති නවක පරිවේණාචාර්යවරු 270 ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානයට එක්වෙමිනි.
මෙරට බෞද්ධ උරුමයන් සංරක්ෂණය කිරීම උදෙසා මේ වනවිට රජය පියවර රැසක් ගෙන ඇති බව සිහිපත් කළ අධ්‍යාපන අමාත්‍යවරයා මෙරට අධ්‍යාපනයේ මුදුන්මල්කඩ බදු පිරිවෙන් සංවර්ධනය කිරීමත්, සංරක්ෂණය කිරීමේ වටිනාකම අවධාරණය කළ අතර ම ජාතික ව්‍යාපෘතියක් බවද සඳහන් කළේය.
මේ වසර අවසානයට පෙර දිවයිනේ ඇති වෙහෙර විහාරස්ථාන දොළොස්දහසක් ඇසුරෙන් දහසක් සංවර්ධනය කර සංරක්ෂණය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා රුපියල් මිලියන 500කට ආසන්න මුල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.
පිරිවෙන්හි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේගේ සුභසාධනය වෙනුවෙන් මාසිකව රුපියල් 2500 ක ශිෂ්‍යත්වයක් ප්‍රදානය කිරීමද මේ වසර අවසාන වීමට පෙර ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළ අතර යුද්ධය හේතුවෙන් ගරාවැටුණු උතුරු නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණය කිරීම වෙනුවෙන්ද විශේෂ වැඩසටහනක් දියත්කර ඇති බව සිහිපත්කළ අමාත්‍යවරයා පුරාවිද්‍යා ස්ථානයන්හි ආරක්ෂාව සම්බන්ධව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස්කර ඇති බව සඳහන් කළේය.
මෙහිදී නවක පරිවේණාචාර්ය ස්වාමින් වහන්සේලා 149ක් සහ, ගිහි නවක පරිවේණාචාර්යවරුන් 121 ක් සඳහා පත්වීම් ප්‍රදානය සිදු කෙරුණි. මේ අවස්ථාවට පිරිවෙන් අධ්‍යාපන උපදේශක පුජ්‍ය අත්තන්ගනේ ශාසනරතන ස්වාමින් වහන්සේ, පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂක මහාචාර්ය පුජ්‍ය නාබිරිත්තංකඩවල ඥානරතන ස්වාමින් වහන්සේ ඇතුළු භික්ෂුන්වහන්සේලා හා අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක් වූහ.

Read more

Local News