ආසියානු වෙරළ ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුව කොළඹදී

Share

ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ආසියානු වෙරළ ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවේ 15 වන සැසි වාරය කොළඹදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමෙන්තු පවසයි.

ආසියානු වෙරළ ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවේ 15 වන සැසි වාරය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ප්‍රධානත්වයෙන් රටවල් 22 ක වෙරළ ආරක්ෂක ආයතන, අනුබද්ධ සමාජික ආයතනයක් හා නිරීක්ෂණ සංවිධාන දෙකක සහභාගිත්වයෙන් ශ්‍රි ලංකාවේදී පැවැත්වීමට සියළු කටයුතු සම්පාදනය කර ඇත.

ඒ අනුව එහි ක්‍රියාකාරි මට්ටමේ නියෝජිතයන්ගේ රැස්වීම 2019 ජුලි මස 08 වන දින සිට 11 වන දින දක්වාත් ආයතන ප්‍රධානින්ගේ රැස්වීම 2019 ඔක්තෝබර් මස 07 වන සිට 10 වන දක්වා කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුව තිබූ “අලොන්ද්‍රා රේන්බෝ“ නෞකාව ඉන්දීය වෙරළ ආරක්ෂකයන් විසින් අග්නිදිග ආසියානු මුහුදේදී 1999 නොවැම්බර් මාසයේදී සිය භාරයට ගැනීම පසුබිම් කර ගනිමින් ආසියානු සමුද්‍රීය කලාපයට ඇති තර්ජනයන් වලට මුහුණදීම සදහා ජපානය විසින් මුහුදු කොල්ලකෑම් හා අවි ජාවාරම් නැවැත්වීම සදහා කලාපීය සමුද්‍රීය ආරක්ෂක ආයතන අතර සමුළුවක් 2000 වසරේදී සංවිධානය කරන ලදි.

අනතුරුව, එම සමුළුව 2000 වසර සිට 2004 වසර දක්වා කලාපීය සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධ ආයතන වල ප්‍රවීන ජ්‍යෙෂ්ඨයන්ගේ සහභාගීත්වයෙන් මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය  හා තායිලන්තය යන රටවලදී පැවැති අතර, 2004 වසරේදී ජපානයේ මුලිකත්වයෙන් ආසියානු වෙරළ ආරක්ෂක ආයතන ප්‍රධානින්ගේ සමුළුව වශයෙන් මෙය වඩාත් විධිමත්ව ආරම්භ කිරීමෙන් අනතුරුව මේ දක්වා බහුපාර්ශ්වික කලාපීය සමුළුවක් ලෙස  වාර්ෂිකව එය නියෝජනය කරනු ලබන රටවලදි පැවැත්වේ.

මෙම සමුළුවේදී ‘සමුද්‍රයේ සිදුකෙරෙන සෙවීම් සහ මුදවා ගැනීම්, සමුද්‍රීය පරිසරය සුරක්ෂිත කිරීම, සමුද්‍රීය නීති විරෝධී ක්‍රියා වැලැක්වීම හා පාලනය කිරීම, කලාපයේ සමුද්‍රීය ආරක්ෂක අංශවල හැකියාව වැඩි දියුණු කිරීම මෙන්ම සාමාජික ආයතන විසින් හදුනාගත් කලාපීය සමුද්‍රීය ආරක්ෂාවට වැදගත් වන වෙනත් පොදු කරුණු’ යන  සිව් වැදෑරුම් කරුණු පිළිබදව අවධානය යොමු කරනු ලබන අතර, ඒ හා සබැදිව සමාජික ආයතන අතර සාමූහිකව සිදුකරනු ලබන ක්‍රියාකාරකම් මගින් සමුළුව පැවැත්වීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම එහි මුලික පරමාර්ථයයි.

ආසියානු වෙරළ ආරක්ෂක ආයතන ප්‍රධානීන්ගේ සමුළුව ආසියානු කලාපයට අයත් වෙරළ ආරක්ෂක ආයතන හා සාගරික ආරක්ෂක නියෝජිත ආයතනවල ප්‍රධානීන් සහභාගි වන ඉහල මට්ටමේ බහුපාර්ශ්වික සමුළුවක් වන අතර, එමගින් ආසියානු කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව මෙන්ම සමුද්‍රීය දූෂණය මැඩපැවැත්විම සදහා ගතයුතු ඉදිරි පියවර පිළිබදව සුවිශේෂි අවධානය යොමු කෙරේ.

වාර්ෂිකව පවත්වනු ලබන මෙම සමුළුව මුලික වශයෙන් ක්‍රියාකාරි මට්ටමේ නියෝජිතයන්ගේ සාකච්ඡා මගින් අනාවරණය වන කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව සදහා වන ගැටළු හදුනාගෙන ඒ සදහා අවශ්‍ය විසදුම් හා ඉදිරි පියවරයන් ක්‍රියාත්මක කිරීම සඳහා ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේදි සම්මුතියකට එළඹේ.

මෙමගින් ආසියානු කලාපයේ වෙරළ ආරක්ෂක ආයතනවල මෙහෙයුම් ධාරිතාවයන් වැඩි දියුණු කිරීම හා කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සම්බන්ධ ආයතන අතර සහයෝගිතාවය වර්ධනය කර ගැනීම අපේක්ෂා කෙරේ.

එම සමුඵවේ 14 වන සැසි වාරය 2018 වර්ෂයේදී බංග්ලාදේශයේදි පවත්වනු ලැබු අතර, මෙවර එහි 15 වන සැසිවාරය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී පවත්වනු ලබයි.

මෙම සමුළුව සදහා ඕස්ට්‍රේලියාව, බහරේන්, බංගලාදේශය, කාම්බෝජියාව, චීනය, හොංකොං (චීනය), ඉන්දියාව, ඉන්දුනීසීයාව, ජපානය, කොරියාව, ලාඕසය, මැලේසියාව, මාලදිවයින, මියන්මාරය, පාකිස්ථානය, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රි ලංකාව, තායිලන්තය, තුර්කිය හා වියට්නාමය යන රටවල් හා කලාප 22 ක් වශයෙන් නිත්‍ය සාමාජිකයින් ලෙස සහභාගි වීමට නියමිතයි

මීට අමතරව මුහුදු කොල්ලකෑම් හා අවි ජාවාරම් වැලැක්වීම සඳහා වන ආසියානු කලාපීය සහයෝගිතා වැඩසටහනෙහි  තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයට අනුබද්ධ සාමාජිකයෙකු ලෙස මෙම සමුළුවට සහභාගි වන අතර, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සඳහා වන කාර්යාලය සහ බාලි ක්‍රියාවලිය මෙම සමුළුවේ අනෙකුත් නිරීක්ෂක සාමාජිකයින් වේ.

Read more

Local News