දක්ෂිණ අධිවේගයේ දිගුවේත් වැඩ නැවතිලාද ?

Share

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම සිට බෙලිඅත්ත දක්වා දිගුව එළැඹෙන නොවැම්බරයේදී ජනතා අයිතියට පත් කිරීමේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉලක්කය බොඳවන තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී තිබේ.

ඒ, එහි පළමු කොටසේ ඉදිකිරීම් පැවරුණු චීන සමාගම පෙරේදා (01) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ අත්හිටු වීම හේතුවෙනි.

චීන ණය ආධාර මත ක්‍රියාත්මක මෙම මාර්ග දිගුවේ දුර ප්‍රමාණය කිලෝමීටර් 96කි.

වැඩ අත්හිටුවා තිබෙන්නේ, ගොඩගමින් ආරම්භ වී දිවෙන පළමු කිලෝමීටර් 30ක දුර ප්‍රමාණය අශ්‍රිතව ය.

රුපියල් බිලියන 256.2ක මුළු ඇස්තමේන්තුගත වියදමෙන් රුපියල් බිලියන 113ක් අදාළ පළමු කිලෝමීටර් 30ක කොටසට අයත් වේ.

සෙසු කිලෝමීටර් 66 ඉදිකිරීම් කොටස් 3කට බෙදා පවරා ඇත්තේ ද චීන සමාගම් දෙකකට ය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රශ්නගත දිගුවට අදාළව රුපියල් බිලියන 15ක වියදම් ඉතිරියක් ද ඇස්තමේන්තුගත කර තිබීම විශේෂත්වයකි.

එසේ වුවද මෙම වසර සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කෙරුණු රුපියල් බිලියන 176ක අරමුදල් වැය වී හමාර ය.

අධිකාරිය විසින් මුලපුරා ඇති ව්‍යාපෘතිවල වැඩ කොටස් කර ගෙන යාමට නම් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත යුතුව තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ග දිගුවේ ගොඩගමින් ආරම්භ වන පළමු කිලෝමීටර් 30 ඉදිකිරීම් වැය ඇස්තමේන්තුවෙන් අදාළ චීන ඉදිකිරීම් සමාගමට ගෙවීමට ඉතිරි වී තිබෙන්නේ රුපියල් බිලියන 15කට ආසන්න මුදලක් පමණි.

එම සමාගම ඉකුත් 22 වන දා මාර්ග සංවර්ධන අධිකාරියට ලිඛිතව දන්වා ඇත්තේ, අදාළ ඉතිරි මුදල දින 7ක් ඇතුළත එකවර නොගෙවන්නේ නම් වැඩ අත්හිටු වීමට සිදු වන බව ය.

Read more

Local News