බදියුදීන්ගේ බිරිඳගේ බැංකු ගිණුමක් ගැන FCIDයෙන් විමර්ශන අරඹයි

Share

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ වන කිදේර් මොහොමඩ් සහබ්දීන් අයීෂා මහත්මියට අයත් පෞද්ගලික බැංකු ගිණුමකට සැක කටයුතු ලෙස රුපියල් මිලියන 55ක අධික මුදලක් බැරවීම පිළිබඳ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ පිළිබඳව එම කොට්ඨාසයෙ පසුගියදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කළේය.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඔවුන් සඳහන් කළේ ශ්‍රී මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳට අයත් බැංකු ගිණුම් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් මෙම විමර්ශනය ආරම්භකර ඇති බවයි.

කොළඹ 07,බෞද්ධාලෝක මාවතේ පදිංචි කිදේර් මොහොමඩ් සහබ්දීන් අයීෂා යන අයගේ පෞද්ගලික ගිණුම් වලට , පෞද්ගලික මූල්‍ය ආයතනයක් විසින් නිකුත් කරන ලද චෙක් පත් මඟින් රුපියල් මිලියන 55කට අධික මුදලක් බැර කර ඇති බවත්, එම මුදල අවස්ථා කිහිපයකදී සැකකටයුතු ලෙස හුවමාරු වී ඇති බවත්, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

එම කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ හිටපු අමාත්‍යවරයාගේ බිරිද ඉදිකිරීම් සමාගම් 3ක අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරන බවයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ  ඇය අධ්‍යක්ෂ ධුරය දරණ සමාගම් මඟින් කොළඹ කොටස් වෙළඳපොලේ මුදල් ආයෝජනය කර ඇත්දැයි සවිස්තර වාර්තාවක් කැඳවීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඒ අනුව එලෙස කොටස් වෙළඳපොලේ මුදල් ආයෝජනය කර ඇත්නම් එම මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් වාර්තාවක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ලබා දෙන ලෙස මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය කොළඹ කොටස් වෙළඳපොලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාට නියෝග කළාය.

Read more

Local News