ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතා අතර නිල හමුවක්

Share

අදින් ඇරඹෙන ශී‍්‍ර ලංකා – දකුණු කොරියානු මිත‍්‍රත්වයේ කීර්තිමත් පරිච්ඡේදය දෙරටටම ප‍්‍රතිලාභ රැසක් උදාකරනු ඇති බව දකුණු කොරියානු ජනාධිපතිවරයා පවසයි.

දකුණු කොරියාව සහ ශී‍්‍ර ලංකාව අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතාවලට 40 වසරක් සපිරෙන මෙම අවස්ථාවේදී සිදුවන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ දකුණු කොරියානු රාජ්‍ය සංචාරය දෙරට අතර ශක්තිමත් සබඳතාවයක තිර පදනමක් සකසන බව දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතා පවසයි.

එමෙන්ම මේ සමඟ ඇරඹෙන දෙරට අතර මිත‍්‍රත්වයේ කීර්තිමත් පරිච්ජේදය දෙරටටම ප‍්‍රතිලාභ රැසක් උදාකර දෙනු ඇති බව ද දකුණු කොරියානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතා අතර නිල හමුව අද (29) පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

අද පෙරවරුවේ සෝල් නුවර බ්ලු හවුස් ජනාධිපති නිල නිවස වෙත ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති මුන් ජෙයින් මහතා විසින් පිළිගත්තේ ඉතා උණුසුම් අන්දමිනි.

හමුදා උත්තමාචාර පිළිගන්වමින් ඉතා අභිමානවත් අයුරින් ද එම පිළිගැනීම සිදුවූ අතර ජනාධිපතිවරයා පැමිණෙන මග දෙපස දෙරටේ ජාතික ධජ ප‍්‍රදර්ශනය කරමින් අලංකාරවත් අයුරින් සරසා තිබුණේ දෙරටේ දැඩි සබඳතාවය මනාව පිළිඹිඹු කරමිනි. නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

දෙරටේ ද්වි පාර්ශ්වික සබඳතා නැවුම් ප‍්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී නායක දෙපළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, සම අත්දැකීම් ඇති රටවල් දෙකක් ලෙස එම සබඳතා සෑම අතින්ම ශක්තිමත් කර ගැනීමට අවස්ථාව පවතින බව ද දකුණු කොරියානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

හෝමාගම ටෙක් සිටි සහ කටුනායක එරෝ සිටි ආයතන ස්ථාපනය කිරීම සඳහා තාක්ෂණික සහය ලබාදෙන ලෙස ද මෙහිදී ජනාධිපතිවරයා දකුණු කොරියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා ජනාධිපතිවරයාගේ එකඟතාවය පළ කෙරිණි.

රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවෙන ගිවිසුම් 05 කට ද අත්සන් තැබිණි. දෙරට අතර අත්සන් තැබුණු ආර්ථික සහයෝගීතාව පිළිබඳ ගිවිසුමට දකුණු කොරියානු ආර්ථික කටයුතු අමාත්‍යවරයා සහ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා විසින් අත්සන් තැබීය.

රැකියා බලපත‍්‍ර ක‍්‍රමයට අදාළ ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර ඊට අත්සන් තබන ලද්දේ ඇමතිනි තලතා අතුකෝරාළ මහත්මිය සහ එරට රැකියා හා කම්කරු අමාත්‍යවරයා විසිනි.

Read more

Local News