ලෝකයේ වැඩි ඉල්ලුමක් සහිත මත්ස්‍ය වගාව මෙරට ආරම්භ කිරිමේ වැඩපිළිවෙලක්

Share

රටට විශාල විදේශ විනිමයක් සහ ගමේ ජනතාව ආර්ථිකමය අතින් සවිබල ගැන්වීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන සහ අපනයන කලාප බිහිකර ලෝකයේ විශාල ඉල්ලුමක් පවතින මුහුදු මාළු සහ මුහුදු පැළෑටි ගොඩබිම වගාව ආරම්භ කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පැවසිය.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එම වැඩපිළිවෙලට සමගාමිව මුහුදේ කූඩු ආශ්‍රිතව ලෝකයේ වැඩි ඉල්ලුමක් සහ වැඩි වටිනාකමක් සහිත මත්ස්‍ය වගාව ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ මුලික වැඩපිළිවෙල ආරම්භ කර ඇති බවය.

මට්ටක්කුලිය, කාකදුපතේ පිහිටි ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ නියෝජිතායතන‍යේ ඉදිකළ විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය සහ ජලජ පැළෑටි රෝපණ මධ්‍යස්ථානය විවෘත කිරීම නිමිත්තෙන් ඊයේ(10) දින පැවතී උත්සවයේදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව පැවසිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා,

“මෙලෙස විවෘත කල විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය සහ ජලජ පැළෑටි රෝපණ මධ්‍යස්ථානය සඳහා රුපියල් ලක්‍ෂ 360 ක් වැය කළා. ධීවර ක්ෂේත්‍රයේ හදවත නාරා ආයතනයයි.

අපේ රටේ කරදිය, මිරිදිය හා කිවුල්දිය ධීවර කර්මාන්තයට අදාළ සියළු පර්යේෂණ පවත්වමින්, නවීන තාක්‍ෂණය හදුන්වා දී ඒ පිළිබද ධීවර ජනතාව දැනුවත් කරමින් නිවැරදිව ධීවර කර්මාන්තයේ නිරත වීමේ ක්‍රමවේද ජනතාවට කියාදෙමින් නාරා ආයතනය කරනු ලබන සේවය ඉතා විශාලයි.

මේ නිසා නාරා ආයතනය කරනු ලබන ඒ සේවය අපි අගයන්න ඕනේ. ඒ වගේම මෙම ආයතනයට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කල යුතුයි.

ලෝකයේ අද විශාලම ඉල්ලුම තියෙන්නේ ලංකාවේ විසිතුරු මසුන්ටයි, ඒ නිසා මේ විසිතුරු මත්ස්‍ය වගාව අපි මිට වඩා ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා.

ඒ වගේම ඒ විසිතුරු මත්ස්‍ය වගාව සමඟම ජලජ පැළෑටි වගාවත් ස්වයං රැකියාවක් වශයෙන් ව්‍යාප්ත කල යුතුයි. මේ කර්මාන්තය කාන්තාවන්ට අතිරේක ආදායම් මාර්ගයක් ලෙස නිවසේ සිට කරන්න පුළුවන්.

ගෘහණියට මුදලක් ලැබෙන කර්මාන්තයක් වගේම රටට විදේශ විනිමය උපයන කර්මාන්තයක් ලෙස මේ විසිතුරු මත්ස්‍ය වගාව රටතුල ව්‍යාප්ත කිරීමේ හැකියාව තියෙනවා. අපි සංවිධානය කල මින් විසිතුරු විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශනයේදී තේරුම් ගත්තා මෙය මොනතරම් වටිනා කර්මාන්තයක් ද කියලා. ඒ ප්‍රදර්ශනයට ජනතාවගේ තිබු උනන්දුව වගේම විදේශීය වලින් පවතින ඉල්ලුම ඊට කදිම නිදසුනක්. ”

“මේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය පිළිබඳ නියමු ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව, රාජ්‍ය නිලධාරීන් සහ ග්‍රාමීය නායකයින් දැනුවත් කළා.

එකේ ප්‍රතිඵල අද දකින්න පුළුවන්. අද වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙම විසිතුරු මත්ස්‍ය වගාව සියයට 20 ක පමණ ප්‍රගතියක් අත්කරගෙන තියෙනවා.

මෙම විසිතුරු මත්ස්‍ය වගාව පිලිබදව දැනුම, අවබෝධය, පුහුණුව, තාක්‍ෂණය වගේම ආධාර මුදල් ලබාදෙමින් මෙම කර්මාන්තය මගින් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කර ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මේ ලබපු සාර්ථකත්වය අනුව එම වැඩපිළිවෙල රටේ සියළු ගමක් ගමක් පාසා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර අවසන්.

අපි හදුන්වා දී ඇති ආර්ථික උත්පාදන වැඩපිළිවෙල යටතේ පුරන් කුඹුරු, වල් බිහි වී ඇති කුඩා ඉඩම් කැබැල්ලක ඉස්සන් වගාව, මඩ කකුළු වගාව වගේම මේ විසිතුරු මත්ස්‍ය වගාව කිරීමේ පහසුකම් අපි සලසා තියෙනවා. ඒ වැඩපිළිවෙල රටට හදුන්වා දෙන්න මට හැකියාව ලැබුනා.”

“ඒ වගේම තමයි ඉතාම කෙටි කාලයක් තුල හදුන්වා දෙනවා මුහුදු මාළු ගොඩබිම වගා කිරීමේ වැඩපිළිවෙල. මේ පිළිබඳ අපි ආරම්භ කල පර්යේෂණ ඉතාම සාර්ථකයි. ලෝකයේ බොහෝ රටවල් මුහුදු මාළු ගොඩබිම වගාව ආරම්භ කර අවසන්. මම කොරියාවේ කල සංචාරයේදී මෙම වගාව පිලිබඳව අධ්‍යනයක් කර විශාල අවබෝධයක් ලබාගත්තා.

ඒ වගේම මහා මුහුදේ කුඩු තුල මසුන් වගාව ආරම්භ කිරීමටත් කටයුතු කරමින් යනවා. පතා මඩි වගේ විශාල වන මසුන් වලට ලෝකයේ විශාල ඉල්ලුමක් තියෙනවා. මෙවැනි වගාවන් සඳහා ජනතාව යොමුකරවීම තුලින් රටට විශාල විදේශ විනිමයක් උපයාගැනීම වගේම ජනතාවට ආර්ථිකමය අතින් ශක්තිමත් කිරීමට හැකි වේවී.

ලංකාවේ ප්‍රථම මඩ කකුළු ආදර්ශ ගොවිපලේ සියළු ඉදිකිරීම් අවසන් අදියරේ පවතිනවා. ලබන මාසයේ එය ජනතා අයිතියට පත් කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ වගේම මුහුදු පැළෑටි, කොරල් වගාව සඳහා අපි යොමුවෙලා ඉන්නේ.

රටට වැඩි විදේශ විනිමය උපයන්න අපේ රටට වඩාත් උචිත දේ නිවැරදිව හදුනාගෙන එම වැඩසටහන් හදුන්වා දී ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටිනවා. ශ්‍රී ලංකාව කියන්නේ මහා වාසනාවන්ත රටක්, මේ රට වටා තියෙන මහා සාගරය ධන නිධානයක්, රටේ වැලි ඇටයෙන් පවා ධනයක් රටට හිමිකරදෙන්න පුළුවන්.

සාගර සම්පතින් අපි මොනවද අරගන්නේ. සාගරයෙන් අපි මාළු ටික අල්ල ගත්තත් එකත් නිසි ලෙස ලබා ගන්නවද කියන එකත් ගැටළුවක්. මේ සම්පත් පිලිබඳව ජනතාවට පැහැදිලි අවබෝධයක් ලබා දී ජනතාව මෙවැනි නව ආදායම් උපයාගත හැකි දිසා වෙත යොමු කරන්න ඕනේ. එතැන තමයි මම ඉන්නේ. මේ නිසා දිස්ත්‍රික් මට්ටමින් විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන ආරම්භ කරලා, ගම් මට්ටමින් මේ වැඩපිළිවෙල සාර්ථක කරන්න මම සැලසුම් කර තියෙනවා.

ඊට සමගාමිව දිස්ත්‍රික් මට්ටමින් මසුන් අපනයන කලාප නිර්මාණය කරන්නත් සැලසුමක් තියෙනවා. ඒ අපනයන කලාප වෙනුවෙන් දේශීය ආයෝජකයින් බිහි කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඕනේ. පසුගිය වසර හතර තුල ක්‍රියාත්මක කල වැඩසටහන් වල ප්‍රතිඵල තමයි මේ නෙලාගනිමින් ඉන්නේ.” යැයිද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා සඳහන් කළේය .

මෙම අවස්ථාවට කෘෂිකර්ම, වාරිමාර්ග, පශුසම්පත් සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා, ලේකම් කේ.ඩි.එස්.රුවන්චන්ද්‍ර මහතා, නාරා ආයතනයේ සභාපති ඒ.ඩි.එදිරිසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

විසිතුරු මත්ස්‍ය අභිජනන හා ජලජ පැළෑටි රෝපණ මධ්‍යස්ථානය.

මිරිදිය විසිතුරු මත්ස්‍ය වගාව ලංකාවේ ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කර්මාන්තයකි. මෙම කර්මාන්තය සංවර්ධනය පිලිබඳව නාරා ආයතනය පර්යේෂණ කටයුතු සිදුකරමින් සිටි. එම පර්යේෂණ අනුව විශේෂ ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කර තිබේ. විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සේම ආහාරය සඳහා මත්ස්‍ය වගාව, ඇල්ගී වගාව, මත්ස්‍ය ආහාර වගාව පිළිබඳ පර්යේෂණ සඳහා මෙම නව අභිජනනාගාරයේ පහසුකම් පවතී.

මෙම අභිජනනාගාරයේ ප්‍රධාන අරමුණු අතර,

01    – ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය වගා ක්‍ෂේත්‍රයට සම්බන්ධ වගා කරුවන්ගේ තාක්‍ෂණික දැනුම වර්ධනය කිරීම,

02    – ඒ ඇතුලින් ජිවන තත්වය නගා සිටුවීම.

03    – විසිතුරු මත්ස්‍ය වගාව, ආහාර සඳහා මසුන් වගා කිරීම, මසුන් සඳහා ආහාර නිෂ්පාදනය යන අංශවලට අදාළ               පර්යේෂණ තුලින් ඉහල දායකත්වයක් ලබාදීම.

04    – මසුන් සඳහා ප්‍රේරණ අභිජනන තාක්‍ෂණික ක්‍රමවේදය දියුණු කිරීම මගින් විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ  සංවර්ධනය සඳහා දායකත්වය ලබාදීම.

05- ප්‍රායෝගික පර්යේෂණ සඳහා විශ්වවිද්‍යාල සහ පශ්චාත් උපාධි අධ්‍යාපන සිසුන් සදහා පහසුකම් සැලසීම.

ලෝකයේ විසිතුරු මත්ස්‍ය අපනයනය කරනු ලබන රටවල් අතුරින් ශ්‍රී ලංකාව 10 වන ස්ථානයේ පසුවේ. වයස් භේදයකින් තොරව විසිතුරු මත්ස්‍ය වගාව සඳහා ජනතාව පෙළබිම මෙලෙස විසිතුරු මත්ස්‍ය වගාව සඳහා වැඩි උනන්දුවක් ඇති වීමට හේතු වී තිබේ. නිවැරදි තාක්‍ෂණ ක්‍රමවේද භාවිතය හේතුවෙන් විශේෂ වාසි රැසක් හිමිකරගැනීමට හැකිවේ.

01 – ස්වයං රැකියාවක් ලෙස විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ  නිරතවීමෙන් අතිරේක ආදායමක් උපයාගැනීමට හැකි වීම.

02 – විදේශ විනිමය උපයාගැනීම සඳහා විසිතුරු මසුන් අපනයනය.

05    – අතහැර දමා ඇති ඉඩම් විසිතුරු මත්ස්‍ය වගාව සදහා යොදාගැනීමට හැකිවීම .

06    – විනෝදාංශයක් ලෙස විසිතුරු මත්ස්‍ය වගාවේ නිරත වීමෙන් මුදල් උපයාගැනීමට හැකිවීම .

07     – හෘද ද රෝගීන් සදහා මානසික සුවයක් ලබා ගත හැකි වීම .

මෙම කර්මාන්තය ආශ්‍රිත අපනයනය වසරින් වසර ඉහළ යමින් පවතී. එමගින් උපයන විදේශ විනිමයද සීග්‍රයෙන් ඉහල නංවාගැනීමට හැකි වී ඇත. අපනයනය සදහා යොදාගන්නා මිරිදිය මත්ස්‍ය විශේෂ වලින් සියයට 90 ක් ටැංකි තුල අභිජනනය කරනු ලබන මත්ස්‍යයින්ය. මෙවැනි තාක්‍ෂණික ක්‍රම මගින් අපනයනය සදහා වැඩි මත්ස්‍යන් ප්‍රමාණයක් කෙටිකාලයකින් නිපදවා ගැනීමට හැකි වීම මගින් විසිතුරැ මත්ස්‍ය අපනයනය ඉහල නංවා ගත හැකි වීම.

ඊට අමතරව විසිතුරු මත්ස්‍ය කර් මාන්තය සඳහා ජලජ පැළෑටි රෝපණය ප්‍රවර්ධනය සදහා ද ජාතික ජලජ සම්පත් සංවර්ධන සහ පර්යේෂණ නියෝජිතායතනය කටයුතු කරමින් සිටි.

එමගින් ද අතිරේක ආදායමක් උපයාගැනීමට සේම අපනයනය සඳහා විශාල ඉල්ලුමක් පවතින ජලජ පැලැටි වගාව මගින් ද රටට විශාල විදේශ විනිමයක් උපයාගැනීමට හැකියාව ලැබේ. එවැනි ජලජ පැලෑටියක් රට තුල රුපියල් 500 ක් වැනි මුදලකට අලෙවිකිරීමේ හැකියාව පවතී.

Read more

Local News