නැවතත් දුම්රිය වර්ජනයක් ද?

Share

දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල සේවය කරන 1500ක් පමණ වන අනියම්, ආදේශක හා තාවකාලික හා කොන්ත්‍රාත් සේවකයින් සේවයේ ස්ථිර නොකර, අලුතින් සේවක පිරිසක් බඳවා ගැනීමට සූදානමක් ඇති බැවින් එසේ සිදු කළහොත් නැවත දුම්රිය වර්ජනයක් සිදු කරන බව දුම්රිය වෘත්තීය සමිති කියා සිටියි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටින්නේ මේ වන විටත් දැන්වීම් පල කරමින් නව පත්වීම් සඳහා කැඳවීම් සිදු කරනු ලබන බවත් වසර 5කට අධික කාලයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල සේවය කරන 1500ක් පමණ වන අනියම්, ආදේශක හා තාවකාලික හා කොන්ත්‍රාත් සේවකයින්ට ඉන් බරපතළ හානියක් සිදුවන බවයි.

තවදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ රජයේ ප්‍රතිපත්ති අනුව රාජ්‍ය සේවයට බඳවාගැනීමේ අවම අධ්‍යාපන සුදුසුකම සම්මාන සාමාර්ථ දෙකක් සහිතව සාමාන්‍ය පෙළ විෂයන් 6කින් සමත් වීම වුවත්, 2014 වර්ෂයේ සිට සේවකයින් බඳවා ගැනීමේදී අධ්‍යාපන සුදුසුකම් නොසළකා බඳවාගෙන ඇති බවයි.

සේවයේ ස්ථිර කර නොමැති සේවකයින් 1500ක් සිටියදීත් දේශපාලන හිතවතුන් බඳවා ගැනීමට කටයුතු කිරීම අනුමත නොකරන බවත් දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙයි.

අනියම්, ආදේශක හා තාවකාලික හා කොන්ත්‍රාත් සේවකයින් සේවයේ ස්ථිර නොකර, දේශපාලන පත්වීම් මඟින් අලුතින් සේවක පිරිසක් බඳවා ගැනීම සිදු කළහොත් එය තවත් දුම්රිය වර්ජනයකට අත වැනීමක් බව වෘත්තීය සමිති සඳහන් කරයි.

Read more

Local News