මුස්ලිම් විවාහ හා දික්කසාද පනතෙහි සංශෝධිත යෝජනාවලිය හෙට භාරදෙයි

Share

මුස්ලිම් විවාහ හා දික්කසාද පනතෙහි සංශෝධනයට ලක්විය යුතු කරුණු ඇතුළත් යෝජනාවලිය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය වෙත හෙට (15) දිනයේ භාරදීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතා පවසයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවති සාකච්ඡාවකදී මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ සංශෝධනය විය යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ තිබුණි.

මුස්ලිම් විවාහයකදී කාන්තා හා පිරිමි පුද්ගලයාගේ වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීම, විවාහ ලියාපදිංචියේ දී කාන්තාවගේ අත්සන අනිවාර්ය කිරීම, ක්වාසි අධිකරණ සඳහා කාන්තා නියෝජනය ඇතුළත් කිරීම ඇතුළු කරුණු 11ක් සහිත යෝජනාවලියක් සකස් කිරීමට එම සාකච්ඡාවේ දී තීරණය වු බව ඒ.එච්.එම්.ෆවුසි මන්ත්‍රීවරයා පැවසුවේය.

ඒ අනුව අදාළ සංශෝධන ඇතුළත් කොට මුස්ලිම් විවාහ සහ දික් කසාද නීතිය සංශෝධනය විය යුතු ආකාරය පිළිබද යෝජනාවලියක් පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් මේ වන විට සකස් කර ඇත.

අදාළ යෝජනා ඇතුළත් කරමින් සකස් කරන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට නියමිතයි.

ඒ අනුව එම කටයුතු සඳහා සිය යෝජනා අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය වෙත හෙට දිනයේ භාරදීමට සැලසුම් කර ඇති බව ඒ.එච්.එම්.ෆවුසි මන්ත්‍රීවරයා සදහන් කළේය.

Read more

Local News