පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු දුන් අයෙක් අත්අඩංගුවට

Share

පසුගිය 12වන සිකුරාදා දින රාත්‍රියේ දී 119 දුරකථන මධ්‍යස්ථානයට ඇමතුමක් ලබා දී පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට අසත්‍ය තොරතුරක් ලබා දුන් අයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවත් මෙය පිටකොටුවේ මුස්ලිම් දේවස්ථානයක් තුළදී පුද්ගලයන් 8 දෙනෙකු විසින් සැළසුම් කර ඇති බවත්ය.

තොරතුර ලද සැණින් කොළඹ මධ්‍යම කොට්ඨාශය භාර නිශාන්ත සොයිසාගේ ප්‍රධානත්වයෙන් වහාම මේ පිළිබඳ විමර්ශනය කර ඇති අතර එහිදී ලබා දුන් තොරතුර අසත්‍ය බවට අනාවරණය වී ඇත.

අසත්‍ය තොරතුර ලබා දුන් තැනැත්තා ඊයේ (13) ඇල්ල පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඇල්ල ප්‍රදේශයේ නිවසක කුලියට පදිංචි වී සිටි 53 හැවිරිදි අයෙකි.

කුලියට සිටින නිවසේ හිමිකරුගේ ජාතික හැඳුනුම්පත භාවිත කරමින් ඔහු සිම් කාඩ් පත මිලට ගෙන ඇති බවත් වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සැකකරු මේ වන විට කොටුව පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read more

Local News