ජාතීන් අතර ඇති අඬු ලුහුඬුකම් වෙනස්කම් අවම කරන ක්‍රමයක් මෙන්න

Share

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතෙහි සංශෝධනය තුළින් සංස්කෘතික වශයෙන් ජාතීන් අතර ඇති අඬු ලුහුඬුකම්, වෙනස්කම් අවම කරමින් ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සියලු දෙනාට එක මට්ටමේ ජීවත් වීමේ හැකියාව ලැබෙන බව මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවසීය.

හලාල් සහතිකය ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඔස්සේ ලබා දීමේ ක්‍රියාවලියකට සාකච්ඡා සිදු කළ බව මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවසීය.

කොළොන්නාව ප්‍රදේශයේ පැවති වැඩ සටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතෙහි සංශෝධනය විය යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය වෙත අද (15) භාර දීමට මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවති සාකච්ඡාවකදී මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ සංශෝධනය විය යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇත.

මුස්ලිම් විවාහයකදී කාන්තා හා පිරිමි පුද්ගලයාගේ වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීම, විවාහ ලියාපදිංචියේ දී කාන්තාවගේ අත්සන අනිවාර්ය කිරීම, ක්වාසි අධිකරණ සඳහා කාන්තා නියෝජනය ඇතුළත් කිරීම ඇතුළු කරුණු 11ක් සහිත යෝජනාවලියක් සකස් කිරීමට එහිදී තීරණය කෙරුණි.

ඒ අනුව අදාළ සංශෝධන ඇතුළත් කොට මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය විය යුතු ආකාරය පිළිබද යෝජනාවලියක් පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් මේ වන විට සකස් කර ඇති අතර එය අධිකරණ අමාත්‍යවරිය වෙත භාර දීමට නියමිතයි.

Read more

Local News