හෙරොයින් ළඟ තබා ගත් අයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.31ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලදී.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි කංකානම් පතිරගේ සුරාජ් කුමාර නමැත්තාට මෙසේ දඩුවම් නියම විය.

2014 වසරේ ජනවාරි මස 17 වනදා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා පැමිණිල්ල විසින් විත්තිකාරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය.

ඒ අනුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවද විනිසුරුවරයා තීන්දු කළේය.