වෑන්-ලොරි අනතුරකින් කතක් මරුට

Share

අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර 5 ඇළ ප්‍රදේශයේ ඊයේ(16) සවස සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙන බවට වාර්තා වෙයි.

අනුරාධපුරය ප්‍රදේශයේ වන්දනාවේ ගොස් නැවත ගම්පහ ප්‍රදේශයට ගමන් කරමින් තිබූ වෑන් රථයක් සහ වයික්කාලේ සිට මැදවච්චියට උළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ කිරිඳිවෙල ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක් බව අනුරාධපුර පොලීසිය පවසයි.

තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් දෙදෙනෙකු, කාන්තාවන් 12 දෙනෙකු සහ වෑන් රථයේ රියදුරා සහ ලොරි රථයේ රියදුරු සිටින බව වාර්තා වෙයි.

අනුරාධපුර පොලීසිය සිද්ධිය සම්බන්ධ‍යෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News