අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 7ක් මිය ගොස් තවත් 23 දෙනෙක් අතුරුදන්

Share

අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ වන විට දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 66ක ජනතාව පීඩාවට පත්ව සිටී. පැවැති ආපදාවන්ගෙන් පුද්ගලයන් 7ක් මිය ගොස් තවත් 23 දෙනෙක් අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

මිය ගිය පුද්ගලයන්ගෙන් තිදෙනෙකු ගාල්ලෙන් ද, බදුල්ලෙන් තිදෙනෙකු ද ගම්පහ හුණුපිටිය ප්‍රදේශයේ පුද්ගලයකු ද වෙති.

ආපදාවට ලක්වූ ප්‍රමාණය 20,000කට ආසන්න බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. නිවාස 202ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, නිවාස 3000කට අර්ධ හාන් සිදු වී ඇත. පුදගලයන් 1036ක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

මේ අයට කඩිනමින් සහන සැලසීමට රජය පියවර ගෙන ඇති අතර රැඳවුම් මධ්‍යස්ථාන 4ක් මේ අය වෙනුවෙන් ස්ථාපිත කර ඇත. පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ටෙන්ට් 1900ක් ලබා දී ඇති අතර එම ජනතාව සඳහා අහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට ද සහන කණ්ඩායම් යොදවා තිබේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට පැවැති අධික වැසි සහ සුළං තත්ත්වය නිසා පෙරේදා (29) රාත්‍රී ගොඩබෑමට පැමිණි ගුවන් යානා 3 ක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවරගෙන ඇති අතර මෙම ගුවන් යානා තුන ඊයේ (30) අලුයම 1ට පමණ යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

පවතින වැසි සමඟ ඉදිරියේ දී ඇතිවීය හැකි ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු ඒකකද සූදානම් කර තිබේ.

දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට කොළඹ සිට කිලෝමීටර 300ක් පමණ බස්නාහිර දෙසින් පවතින අතර ඉදිරි පැය කිහිපයේ දී මෙය සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර සුළඟේ වේගය පැ.කි.මී. 60 – 70 පමණ විය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දකුණු, සබරගමුව, මධ්‍යම, ඌව, සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 – 150 පමණ තද වැසි ඇති විය හැකි බවය. මේ අතර දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර සුළඟේ වේගය පැ.කි.මී. 90 – 100 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයින ආශ්‍රිත මුහුද ඉතා රළු විය හැකි බැවින් මුහුදු යාමෙන් වළකින ලෙස ද එම දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දන්වා සිටියි.

Read more

Local News