අන්තර්ජාතික ගණිත තරගාවලියට යන සිසුන්ට අකිලගෙන් ගුවන් ටිකට්පත්

Share

ලොව පුරා සිසුන්ගේ ගණිත කුසලතා මැනබැලෙන අන්තර්ජාතික ගණිත තරගාවලියට මෙවරත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන් කණ්ඩායමක් සහභාගී වීමට නියමිත ව ඇති අතර, ඊට අදාළ ගුවන් ටිකට් පත් ප්‍රදානය ඊයේ(24) අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදුකෙරුණි.

දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි දී 2019-08-01 සිට 2019-08-06 තෙක් පැවැත්වෙන අන්තර්ජාතික ගණිත තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවරත් සිසුන් 16 දෙනෙක් ඇතුළු 19 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වීමට නියමිතයි.

ලෝකයේ රටවල් 30කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වන 1999 වසරේ සිට අඛණ්ඩව වසරක් පාසා පැවැත්වෙන මෙම තරගාවලියට 2011 වසරේ සිට ශ්‍රී ලංකාව ද සහභාගී වී ඇති අතර අවස්ථා රැසක දී සිසු දරුවන් රැසක් ජයග්‍රහණ හිමිකරගෙන තිබේ.

අන්තර්ජාතික ගණිත තරගාවලිය සඳහා සහභාගී කරවනුයේ, ගණිත විෂයට අදාළ ව පාසල් මට්ටමින් පළාත් මට්ටමටත්, අනතුරුව ජාතික මට්ටමටත් තෝරාගැනෙන සිසුන් අතරින් අන්තර්ජාතික තරගාවලිය සඳහා තෝරාගැනීම වෙනුවෙන් පවත්වන ලද පරීක්ෂණයෙන් ද සමත්වන සිසුන් ය.

Read more

Local News