අපිට ඉදිරියේදී බහුතර බලය දෙන්න – අගමැති

Share

පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් තිබියදීත් රට සංවර්ධනය කිරීමට නොහැකි වූ රාජපක්‍ෂ ආණ්ඩුව දැන් නැවතත් ආණ්ඩු බලය ඉල්ලන්නේ කුමක් සඳහා දැයි තමන් විමසන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සුළුතර ආණ්ඩුවක් වූවත් වත්මන් ආණ්ඩුව ගත වූ වසර හතර තුළ රටේ සංවර්ධනය වෙනුවෙන් විශාල කාර්ය භාරයක් සිදු කර තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

බහුතරයක් නොමැතිව වත්මන් ආණ්ඩුව රටේ ජනතාව වෙනුවෙන් මෙතරම් විශාල සේවයක් සිදු කර තිබෙන අවධියක එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට ජනතාව විසින් ඉදිරියේදී බහුතර බලයක් ලබාදෙන්නේ නම් රට සංවර්ධනය කරා මෙහෙයවීම තව තවත් වේගවත් කළ හැකි බව ද  වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ රත්නපුර දිස්ත්‍රික් ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන පැවැති ඇඹිලිපිටිය මහජන ක්‍රීඩාංගනයේ ජනහමුව අමතමිනි.

මේ අතර ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව කලාපයේ ජාතික සේවක සංගම් කාර්යාලය විවෘත කිරීම ද අද (28) දින අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටියේදී සිදු කෙරිණි.

ජනහමුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

“අපේ ආණ්ඩුව අභියෝග ගණනාවකට මුහුණදෙමින් ඉදිරියට ආවා. නියඟය, ගංවතුර, ප්‍රාදේශීය සභා මැතිවරණය, පාස්කු ප්‍රහාරය ආදී මේ සියලූ අභියෝගයන්ට අපි මුහුණ දුන්නා.

එවිට අපේ ආණ්ඩුව අස්ථාවරවනු ඇතැයි බොහෝ දෙනා සිතුවත් ඒ සියලූ අභියෝගයන්ට මුහුණ දෙමින් අපි සාර්ථකව ඉදිරියට පැමිණියා.

අධ්‍යාපනය සඳහා යොදවන මුදල් වැඩි කිරීමට අපි කටයුතු කළා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ආරම්භ කළා. පාසල්වලට පුහුණු ගුරුවරුන් ලබාදීම ආරම්භ කළා.

සිසු දරු දැරියන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන ආරම්භ කළා. සෞඛ්‍ය සේවා ගාස්තු අඩු කරමින් රටේ ජනතාවට සහන සැලසීමට අපි කටයුතු කළා.

ස්ටෙන්ට් නොමිලේ ලබාදීමට අපේ රජයට හැකි වුණා. රාජපක්‍ෂ ආණ්ඩුව ජනතාවට නිවාස ලබාදුන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් පමණයි. නමුත් අද අපේ අණ්ඩුව යටතේ අමාත්‍යංශ හතරක් හරහා ජනතාවට නිවාස ලබාදීම සිදු කරනවා.

එමෙන්ම සියලුම අමාත්‍යංශ හරහා සංවර්ධන කටයුතු ක්‍රියාවටනංවමින් රට ඉදිරියට ගෙන යනවා.

බහුතරයක් නොමැති වුවත් අපේ ආණ්ඩුව ගත වූ වසර හතරකට අදික කාලය තුළ ජනතාවට විශාල මෙහෙයක් සිදු කළා. බහුතරයක් නොමැති අපට මෙතරම් විශාල සේවයක් රට වෙනුවෙන් කිරීමට හැකි වුණා නම් පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් තිබියදීත් රට සංවර්ධනය කිරීමට නොහැකි වූ රාජපක්‍ෂ ආණ්ඩුව දැන් නැවතත් ආණ්ඩුබලය ඉල්ලන්නේ කුමක් සඳහා දැයි මම විමසනවා.

බහුතරයක් නොමැතිව වත්මන් ආණ්ඩුව රටේ ජනතාව වෙනුවෙන් මෙතරම් විශාල සේවයක් සිදු කර තිබෙන අවධියක එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට ජනතාව විසින් ඉදිරියේදී බහුතර බලයක් ලබාදෙන්නේ නම් රට සංවර්ධනය කරා මෙහෙයවීම තව තවත් වේගවත් කළ හැකි වෙනවා.”

Read more

Local News