සිරිපා වන්දනා සමය ඇරැඹේ – වන්දනා සමය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

Share

මෙවර සිරිපා වන්දනා වාරය උඳුවප් පුන් පොහෝ දිනය වූ ඊයේ (03) අලුයම 5.40 ට යෙදුණු සුබ මොහොතින් ආරම්භ වූ අතර අයහපත් කාලගුණික තත්ත්වය නොසලකා දහස් සංඛ්‍යාත බැතිමත්හු පිරිසක් එම අවස්ථාවට සහභාගී වී සිටියහ.

පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහ විහාරයේ සිට රත්නපුර බලාබද්දල, බළන්ගොඩ බගවන්තලාව හා රත්නපුර අවිස්සාවේල්ල ඔස්සේ හැටන් මස්කෙළිය යන මාර්ග තුන ඔස්සේ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව හා දේව අභරණ පෙරහරින් උඩ මළුව දක්වා වැඩම කිරීමෙන් පසු බැතිමතුන්ගේ සාධුකාර මධ්‍යයේ ශ්‍රීපාද පද්මය සුවඳ පැණින් දෝවනය කිරීමත් සමඟ මෙවර සිරිපා වන්දනා වාරය ආරම්භ විය.

ශ්‍රීපාදස්ථානාධිපති සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක, බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් වසර 2017-18 සිරිපා වන්දනා වාරය ආරම්භ වූ අතර එය ලබන වසරේ වෙසක් පුන් පොහෝ දිනයෙන් නිමාවට පත්වනු ඇත.

පුරා මාස හයක කාලයක් පැවැත්වෙන සිරිපා වන්දනා සමය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. සිරිපා අඩවිය ආරක්ෂා කිරීම සඳහා පොලිතීන්, ප්ලාසිටික් බෝතල් වැනි දිරාපත් නොවන අපද්‍රව්‍යය රැගෙන විත් පරිසරයට මුදා නොහරින ලෙස බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරති.

Read more

Local News