බිංගිරිය වෙළෙඳ කලාපය ඉදිකිරීමට වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන ලබන ජනවාරියේ සිට

Share

මෙවර අයවැයෙන් රුපියල් කෝටි එකසිය තිහ වෙන්කර ඇති බිංගිරියේ වෙළෙඳ කලාපයේ වැඩ කටයුතු අද (04) සිටම ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ බලධාරින්ට ඊ‍යේ (03) උපදෙස් දුන්නේය.

බිංගිරිය වෙළෙඳ කලාපය ඉදිකිරීමට වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන ලබන ජනවාරියේ සිට ලබාගත හැකි බව කී අගමැති වික්‍රමසිංහ මහතා මුදල් එනතෙක් නොසිට අද සිටම එහි වැඩ කටයුතු අරඹන්නැයි අදාළ නිලධාරින්ට පැවැසීය. අගමැති වික්‍රමසිංහ මහතා එම උපදෙස් ලබා දුන්නේ බිංගිරිය වෙළෙඳ කලාපය ඉදිකිරීම් ව්‍යාපෘතිය පිළිබඳව එම වෙළෙඳ කලාපය ඉදිවෙන භූමියේදී ඊයේ (03) පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙහිදී ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ උපාලි සෙනරත් මහතා වෙළෙඳ කලාපයේ ඉදිකිරීම් ව්‍යාපෘතියේ සැලසුම් කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් විස්තර කළේය. මෙම ව්‍යාපෘතියේ මුල් අදියරේදී කර්මාන්තශාලා දහයක් ආරම්භ කෙරේ. මේ ව්‍යාපෘතිය සඳහා දැදුරුඔයෙන් ජලය ලබාගැනීම සඳහා රුපියල් මිලියන තුන්සිය අසූහයක් වෙන්කර තිබේ.

බිංගිරිය වෙළෙඳ කලාපය මඟින් වයඹ කලාපයේ තරුණ තරුණියන්ට පමණක් නොව මුළු රටේම තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලැබෙන බව අගමැති වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය. ව්‍යාපෘතියේ සැලසුම් පරීක්ෂා කළ අගමැතිවරයා වෙළෙඳ කලාපයේ වැඩ කටයුතු ඉක්මනින් අවසන් කරගැනීමට ගත හැකි සියලුම පියවර ගන්නා ලෙස බලධාරින්ට නියෝග කළේය.

 

Read more

Local News