ඇවන්ගාඩ් සභාපති, රක්නා ලංකා හිටපු සභාපති අත්අඩංගුවට ගන්න මහාධිකරණයෙන් වරෙන්තු

Share

රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇප මත මුදාහැර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කළේය.

මෙම නඩුව අද(02) කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම විත්තිකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී සිට නොමැත.

විත්තිකාර නිශ්ශංක යාපා සේනාධිපති මහතා අසනීප තත්ත්වය සිංගප්පූරුවේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ඔහුගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය.

විත්තිකාර පාලිත ප්‍රනාන්දු මහතා ද වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවයි ඔහුගේ නීතිඥවරුන් අධිකරනයට දන්වා තිබුණේ.

ඒ අනුව විත්තිකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ඉදිරිපත් කරන්නැයි දන්වා වරෙන්තු නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ගේ ඇපකරුවන්ට ලබන 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි ද නිකුත් කළා.

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට ලබා දීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම නඩුවෙන් ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට එරෙහිව චෝදනා එල්ල කර තිබෙනවා.

එම රුපියල් ලක්ෂ 355 ක මුදල අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට තවත් චෝදනාවක් එල්ල කර තිබෙනවා.

Read more

Local News