A/L විභාගය අවසන් වන තුරු පොලීසියෙන් පැය 24ක දැඩි ආරක්ෂාවක්

Share

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විභාග මධ්‍යස්ථාන අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

පොලීසිය විසින් පූර්ණ ආරක්ෂාවක් මේ වන විට යොදවා ඇති බව ද සඳහන් කර සිටි පොලිස් අධිකාරීවරයා, විභාගයේ ප්‍රාදේශීය එක් රැස් කිරීමේ මධ්‍යස්ථාන 32 ක් සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන, 625 ක් තිබෙන බව ද සඳහන් කළේය.

මෙම මධ්‍යස්ථාන සියල්ලටම එක් මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරින් තිදෙනෙකු බැගින් පැය 24 පුරාම විභාගය අවසන් වන තුරු පොලිස් ආරක්ෂාව සලසා ඇතැයි ද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ සඳහා පොලිස් නිලධාරින් 1971 ක් අනුයුක්ත කර ඇති බව ද ඔහු කියා සිටියේය.

මේ අතර සෑම විභාග මධ්‍යස්ථානයක් ආසන්නයේම පොලිස් ජංගම, යතුරුපැදි හා පාමුර සංචාර ද එක් කර ඇතැයි පැවසු රුවන් ගුණසේකර මහතා, අවශ්‍ය උපරිම ආරක්ෂාව සලසා ඇති බව ද පැවසීය.

ප්‍රශ්න පත්‍ර සඳහා මෙන්ම උත්තර පත්‍ර ප්‍රවාහනයේ දී සෑම වාහනයක් සඳහාම අවි සහිත පොලිස් නිලධාරින් 2 කු බැගින් ආරක්ෂාවට ලබා දීමට කටයුතු කරන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් විභාග පැවැත්වෙන වේලාවන් හිදී විභාග මධ්‍යස්ථාන ආසන්නයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය කළ නොහැකි බව ද පැවසු රුවන් ගුණසේකර මහතා, එවැනි අවසරයක් නොමැති කටයුත්තක් සිදු වුවහොත් නඩු පැවරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (05) ආරම්භ වීමට නියමිතයි.

අද දිනයේ සිට ලබන 31 වන දින දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,678කදී පැවැත්වෙන උසස් පෙළ විභාගය සදහා අයදුම්කරුවන් 337,704 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉන් 74,789 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් බව සඳහන් වෙයි.

අදින් ආරම්භ වන උසස්පෙළ විභාගය පැවැත්වීමට අදාළ සියලු කටයුතු සංවිධානය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේය.

එමෙන්ම, විභාග අක්‍රමිකතා සිදුකරන විභාග අපේක්ෂකයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News