කූරගලට විදුලිය ලබාදීම නවතා දැමුවේ ලංවිම නොවන බව රවී කියයි

Share

කූරගලට විදුලිය ලබාදීම නවතා දැමුවේ ලංකා විදුලිබල මණ්ඩලය නොවන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමට අනුව නැවතත් කූරගල විහාරස්ථානයට විදුලි සම්බන්ධතාවය ලබාදීමට කඩිනමින් ක්‍රියාත්මක වෙන බවද අමාත්‍යරයා එහිදි පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ, පසුගියදා පැවති මහනුවර නිල සංචාරයේදි අස්ගිරි මහානායක ස්වාමීන්වහන්සේ බැහැ දැක, සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමිනි.

රවි කරුණානායක මහතා අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේ හමුවූ අවස්ථාවේදී, උන්වහන්සේ අමාත්‍යවරයාට පවසා සිටියේ, සංස්කෘතික ආගමික මෙන්ම පෞරාණික වටිනාකමකින් යුත් කූරගල විහාරස්ථානයේ උන්නතිය වෙනුවෙන් විදුලිබලය ලබා දෙන්නේනම්, එය මහඟු කාර්යයක් බවයි.

උන්වහන්සේගේ ඉල්ලීමට සවන්දුන් විෂයභාර අමාත්‍යවරයා, කූරගල විහාරස්ථානයට නව විදුලි සබදතාවයක් ලබාදීමට එකඟත්වය පලකර සිටියේය.

එහිදි අමාත්‍යවරයා පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලි පාරිභෝගිකයාට ඉදිරියේදී පෙරගෙවුම් විදුලි මීටරයක් ලබා දීමටද කටයුතු කරන බවයි.

“කූරගල විහාරස්ථානයට විදුලිය ලබාදෙන්න කියලා අස්ගිරි මහානායක ස්වාමින් වහන්සේ මගෙන් ඉල්ලීමක් කලා. කූරගලට විදුලිය ලබාදීම සම්බන්ධයෙන් මීට ඉහතදී යම් සිද්ධියක් ඇතිවුණා.

පුරාවිද්‍යා දෙපර්තමේන්තුව මගින් කූරගලට නව විදුලි සබදතාව ලබාදීම අනුමත කරමින් ලිපියක් නිකුත් කර තිබූ අතර ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය නව සබදතාවය ලබාදීමට සූදානම් වුවත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්ම ඊට පසු දින එම අනුමැතිය අවලංගු කරමින් ලිපියක් නිකුත්කර තිබුණා.

ඒ අනුව දින 04 ක් වැනි කෙටි කාලසීමාවකින් ලක්ෂ 11 ක් වැනි මුදලක් වැයකර කූරගලට ලබාදීමට සූදානම් වූ නව විදුලි සබදතාවය නවතා දැමීමට සිදුවුණා. නමුත් අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම අනුව නැවතත් කූරගල විහාරස්ථානයට විදුලි සම්බන්ධතාවය ලබාදීමට කඩිනමින් ක්‍රියාත්මක වෙනවා.”

ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු පැහැදිළි කල අමාත්‍යවරයා.,

“ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50 ක් සමරණ අවස්ථාවේදී පාරිභෝගිකයා මුල්කරගෙන කටයුතු කිරීම ආරම්භ කරනවා. දීර්ඝ කාලයක් ඒකාධිකාරියක් පැවති ලංකා විදුලිබල මණ්ඩලය, මේ වනවිට පාරිභෝගිකයා මුල් කරගනිමින් දැන් කටයුතු කරන්න පටන් අරගෙන තිබෙනවා.

ඒ අනුව නව විදුලි බිල් ක්‍රමයක් ඇති කිරීම, ගෘහස්ත නව විදුලි සබදතා සතියක් වැනි කාලයකින් ලබාදිම, පාරිභෝගික ගැටලු වෙනුවෙන් ක්ෂණික විසදුම් ලබාදීම වැනි නව ක්‍රියාමාර්ග රාශියක් දියත් කිරීමට අද ලංවිම සමත් වෙලා තිබෙනවා.

ඒ වගේම මේ වනවිට පරිහරණය කරනු ලබන ගෘහස්ත විදුලි මීටර් වෙනුවට පෙරගෙවුම් විදුලි මීටරයක් ඉදිරියේදී හදුන්වාදීමට අපි මේ වනවිට කටයුතු සකස් කරමින් පවතිනවා.

සැප්තැම්බර් මස අග වනවිට මේ නව මීටර් ව්‍යාපෘතිය දියත් කිරීමට හැකිවෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.

Read more

Local News