වාස් ගුණවර්ධනගේ නඩුව කල් යයි

Share

2009 වසරේ මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක නැමති ශිෂ්‍යයකු පැහැරගෙන ගොස් වධ හිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අද(06) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාග කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්විය.

එහිදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝ වෛද්‍ය විශේෂඥ ෆ්‍රැන්සිස් ජෝසප් ප්‍රනාන්දු මහතාගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණි.

එහිදී සාක්ෂිකාර විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර සිටියේ පැහැර ගෙන ගොස් පහර දීමට ලක් වූ නිපුන රාමනායක සිසුවා තමා දෙවතාවක් පරීක්ෂාවට ලක්කළ බවයි.

එසේ පරික්ෂා කරනු ලැබූ අවස්ථාවල ඔහු දැඩි භීතියකින් හා තැති ගැන්මකින් පසුවූ බව සඳහන් කළ සාක්ෂිකරු එම මානසික තත්ත්වය ඔහුගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් විය හැකි බවට තමා නිරීක්ෂණය කළ බවද පැවසුවේය.

මෙම බියකරු මානසික තත්ත්වය ඔහුගේ ජීවිත කාලය පුරාම පැවතිය හැකි බවට තමාට පෙනී ගිය බවද සාක්ෂිකරු වැඩිදුරටත් සාක්ෂි දෙමින් ප්‍රකාශ කර ඇත.

අනතුරුව නඩු වැඩිදුර විභාගය අගෝස්තු මස 27 වනදාට කල් තබා තිබේ.

2009 වසරේ අගෝස්තු මස 09 වනදා මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි නිපුන රාමනායක නමැති ශිෂ්‍යයා ජීප් රථයකින් පැහැරගෙන ගොස් සිරකර තබා ඇඳුම් ගලවා පහර දී හිරිහැරයට ලක් කිරීම සම්බන්ධයෙන් දැනට මරණීය දණ්ඩනය ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර ඇත.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් අතර වාස් ගුණවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ වූ ශ්‍යාමලී පෙරේරා සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ සේවය කළ පොලිස් නිලධාරීන් 4 දෙනෙකු ද ඇතුළත් ව සිටියි.

Read more

Local News