ඇමතිවරගේ නියෝග පිළිපඳින්න හතුරුසිංහ බැඳිලා නෑ

Share

දින14ක් ඇතුළත නිදහසට කරුණු දක්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට චෝදනා පත්‍රයක් යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මේ අතර හතුරුසිංහගේ එකඟතාවයකින් තොරව ඔහුව ධූරයෙන් ඉවත් කළහොත් කොන්ත්‍රාත්තුවට අනුව ඔහුට විශාල වන්දි මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවනු ඇති බවයි අද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

හතුරුසිංහ විසින් වසරක් පුරා සිදුකල වැඩ පිළිබඳව මේ වන විට වාර්තාවක් ලබා දී ඇති බවත් පැවසු තිලංග සුමතිපාල මහතා, ඒ අනුව වාර්තාවේ ඇති කරුණු ගැන කියන්න ඇති දේවල් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

මේ අතර නවසීලන්ත සංචාරයට හතුරුසිංහ මහතා පුහුණුකරු ලෙස යොදා ගන්නවා ද යනුවෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් තිලංග සුමතිපාල මහතා පවසා සිටියේ, ක්‍රිඩා ඇමතිවරයා විසින් හැකිනම් නවසීලන්ත සංචාරයට පෙර හතුරුසිංහ මහතා ඉවත් කරන ලෙස ඉල්ලා ඇති බවයි.

නමුත් ක්‍රිකට් ආයතනය විසින් මෙම සංචාරයට යන්න අවසර දෙන ලෙස ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් පැවසු සුමතිපාල මහතා, යම් වෙනසක් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බවත් කියා සිටියේය.

කෙසේ වෙතත් පැය  24 ක් ඇතුළත හතුරුසිංහ මහතා ඉවත් නොකළොත් නඩු මාර්ගයට යන බව ඇමතිවරයා පවසා ඇතැයි මෙහිදී මාධ්‍යවේදින් විසින් අසන ලද පැනයට සුමතිපාල මහතා පවසා සිටියේ, “ ඇමතිවරයා එවන නියෝග පිළිපඳින්න හතුරුසිංහ මහතා බැඳිලා නෑ“ යනුවෙනි.

හතුරුසිංහ මහතා බැඳි  ඉන්නේ ක්‍රිකට් ආයතනයට පමණක් බවත් පැවසු සුමතිපාල මහතා, සන්සුන්ව මෙය විසඳා ගත යුතු බවද පැවසීය.

හතුරුසිංහ මහතාගේ එකඟතාවයක් නැතුව ඔහු ඉවත් කිරීමට යෑමෙන් ඔහුට විශාල වන්දියක් ගෙවීමට සිදුවන බවත් පැවසු සුමතිපාල මහතා, දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් සංචාරය අපි ජයග්‍රහණය කළ බවත්, ලෝකයේ හොඳම ක්‍රීඩකයින් සෙල්ලම් කරලත් ලංකාව මෙවැනි ජයක් ලබා නොමැති තත්ත්වයක් යටතේ, මෙවැනි පුහුණුකරුවෙක් වෙනස් කිරීම තරගාවලිය ආසන්නයේ දී සුදුසු නොවන බවද පැවසීය.

Read more

Local News