මාස 6කින් නීතිවිරෝධී මත්පැන් මර්දනය කළ හැකි ක්‍රමය මෙන්න

Share

නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය මැඩලීමට සුරාබදු දෙපාර්තමේන්තුව සහ පොලීසිය දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවත්, එසේ වුවහොත් මාස 06 ක වැනි අවම කාලයකින් සම්පූර්ණයෙන් මර්දනය කළ හැකි බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මීරිගම බාදුරාගොඩ ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් විෂ වූ බවට සැක කෙරෙන පුද්ගලයන් 13 දෙනෙකු මිය යාමේ සිද්ධිය සමබන්ධව ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

මීට පෙර ද නීති විරෝධී මත් පැන් හේතුවෙන් සිදුවිය හැකි ව්‍යසනයන් පිළීබදව සුව ඇමැති අදහස් පළ කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“මීරීගම ප්‍රදේශයේ පසුගිය දවසක නිති විරෝධී මත්පැන් පානය කිරිම නිසා මේ වන විට 13 ක් මියගොස් තිබෙනවා. 30 කට අධික පිරිසක් රෝගාතුර වූ බව වාර්තා වුනා.

පිරිසක් මීරිගම, වතුපිටිවල, රාගම රෝහල්වලින් ප්‍රතිකාර ලබාගෙන මේ වනවිට සුව වෙලා නිවෙස් වෙත ගොස් තිබෙනවා. මත් උවදුර මේ රටේ කොතරම් ලොකු ප්‍රශ්ණයක් ද කියලා එයින්ම තේරෙනවා.”

“පසුගිය දවස්වල කළුතර දිස්ත්‍රික්කයෙන් අහුවුනා ලංකාවේ තිබුන විශාලම මත්පැන්  ස්කාගාරය එම ස්කාරයේ වැටලුවා. නමුත් අයිතිකරුට නියම වුනේ ලක්ෂ 05 ක දඩයක් පමණයි. ඔහු එම ස්කාගාරයෙන් දවසකට ඒවගේ තුන් ගුණයක විතර ආදායමක් ලබනවා.

හරි නම් අඩුම තරමින් මොවුන් මාස 06 ක් වත් හිරේ දාන්න ඕන. ඒ සදහා නව නීති ගේන්න ඕන.  රටේ තිබෙන්නේ මෙවැනි තත්ත්වයක්. මේ වගේ නිෂ්පාදනාගාර එළිපිට තිබෙද්දී මේ රටේ පොලිසිය හා සුරාබදු දෙපාර්තමේන්තුව මොකක් ද මේ සදහා ගන්නා වූ ක්‍රියාමාර්ගය.”

“කළුතර දිස්ත්‍රික්කයට මේ වගේ විශාල ව්‍යසනයක් තිබුනා පසුගිය කාලේ. හලාවත ප්‍රදේශයෙන් කළුතරට කෘත්‍රිම රා ගෙනඑනවා. ප්‍රදේශයේ ස්වභාවික රා නිෂ්පාදනය කරන 35000 ක පමණ පිරිසක් ඉන්නවා. එම රා වෙනුවට කෘත්‍රීම රා නිෂ්පාදනය කරනවා.

එමගින් මත්පැන් පානයට වඩා ශරීරයට විශාල හානියක් සිදු වෙනවා. මේ පිළිබදව මම පසුගිය රජය කාලයේ ඉදලාම විශාල වශයෙන් විරෝධය පළ කළා නමුත් කිසිම දෙයක් සිදු වුනේ නැහැ. මම ස්තූතිවන්ත වෙනවා වර්තමාන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා යටතේ මෙය සෑහෙන මර්දනයකට ලක් කළා.

කෘත්‍රීම රා තහනම් කරලා රා නිෂ්පාදනය කරන සැම ගහක්ම ලියාපදිංචි කළා ඒ ඒ නිෂ්පාදන ස්කාගාර යටතේ. නමුත් පසුගිය දවස්වල සංඛ්‍යාලේඛණ බැලුවාම ගස් 46,000 කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි කර තිබෙනවා ඒ තුලින්ම තේරෙනවා කරලා තියෙන බොරුව. ඒහෙම නම් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මොනවා ද  කළේ මෙවැනි ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කරනකොට. මේක ඔවුන්ගේ කාර්ය භාරය.

‘‘පසුගිය කාලේ අධිකරණය තින්දු ලබාදුන්නා හොර මත්පැන් පිළිබද නීතිමය ක්‍රියාමාර්ග ගන්න පොලීසියට බලයක් නැහැ කියලා. ඒතනදි සම්පූර්ණ බලය ගියේ සුරාබදු නිලධාරීන්ට. නමුත් සුරාබදු නිලධාරීන්ට පුළුවන් පොලීසිය සමග ගිහින් මේ රාජකාරිය කරන්න.

නමුත් විශාල ප්‍රශ්ණයක් තිබෙනවා මෙය නිසි ආකාරයට සිදු වෙන්නේ නැහැ. මේ පිළිබද සුරාබදු දෙපාර්තමේන්තුවත්, පොලීසියත් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. රජය ප්‍රතිපත්තියක් වශයෙන් මත්පැන් සහ දුම්වැටි වලට විරුද්ධව අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශාල ව්‍යාපාරයක් ගෙනියනවා. අපි සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට දුම්වැටි වලට එරෙහිව විශාල ක්‍රියාමාර්ග ගත්තා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රඥප්ති 22 කින් 21 ක් අපි මේ වන විට ක්‍රියාත්මක කර අවසන්.

දුම්කොල වලට ලෝකයේ තිබෙන ලොකුම බදු මුදල පනවා තිබෙනවා. මෙවැනි සියලුම ක්‍රියාමාර්ග ගත්තා. දුම්පානය හා මත්පැන් පානය දෙකම ශරීරයට අහිතකරයි. මේ රටේ ජනතාවට මේ පිළිබද විශාල අවබෝධයක් ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් කරනවා. දැනට නගර 150 කට වඩා වැඩි ප්‍රමාණයක් දුම්කොළ විකිණීමෙන් තොර නගර බවට පත්කරගෙන තිබෙනවා. මෙවැනි නීති විරෝධී ස්කාගාර වැටලීම් තුලින් මේ රටේ තිබෙන තත්ත්වය හොදාකාරවම පෙනෙනවා.

එම නිසා පොලීසියත්, සුරාබදු දෙපාර්තමේන්තුවත් ඒකතුව වහාම මෙය මර්දනය කිරිමට දිප ව්‍යාප්ත ක්‍රියාමාර්ගයක් ගන්න කියලා මා ඉල්ලා සිටිනවා. ඒ වෙනුවෙන් ආරක්ෂක ඇමැති වශයෙන් ජනාධිපතිවරයාත් මුදල් අමාත්‍යවරයාත් මේ සදහා පෙරමුණ ගන්න කියලා මා ඉල්ලා සිටිනවා. දීප ව්‍යාප්ත හරි ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් ගම්වල මිනිසුන්ම පෙන්වලා දෙයි කොහේ ද කොතන ද මෙම නීති විරෝධී වැඩ කරන්නේ කියලා. මාස 06 ක් වැනි කෙටි කාලයක දී ඉතාම ඉක්මණින් මෙම නීති විරෝධී කර්මාන්ත මර්දනය කර ඉවර කළ හැකියි.”

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසීය.

“මේ සදහා මම දන්න දේශපාලන බලපෑමක් නම් නැහැ. ව්‍යාපාරික බලපෑම් තිබෙනවා. මුදලේ බලය තිබෙනවා. කළුතර අහුවුන ඒවා නම් තනිකර දේශපාලනඥයින්ගේ ස්කාගාර. පසුගිය රජයේ ප්‍රබලව හිටපු දැනටත් ඒ රජයේ අළුතින් ආණ්ඩුවක් ඒනවා කියලා මහ ලොකුවට උජාරුවෙන් කථා කරන්නේ මේ ස්කාගාර වටලන එකත් නවත්තගෙන තවත් වැඩිපුර ස්කාගාර පටන්ගන්න තමයි. අපේ ප්‍රදේශයේ ඉන්න ප්‍රසිද්ධම විපක්ෂයේ දේශපාලනඥයෙකුගේ තමයි මේ ව්‍යාපාර.

ඔහුගේ වෙන වෙන අයගේ නම් වලින් තිබුනට. කළුතර තමයි ලංකාවේ එකම සමූපාකාර ස්කාගාරය තිබෙන්නේ. ඒ ස්කාගාරයත් පහුගිය දවස්වල ඔය දේශපාලන බලවතා තමන්ගේ හෙන්චයියන් අධ්‍යක්ෂ මණ්ඩලයට දාගෙන මේ වගේ හොර වැඩ කටයුතු කළා.

දැන් රජයෙන් ඒකටත් සීල් තැබුවා මෙවැනි නිති විරෝධී දේ, වැරදි කරන නිසා. ලංකාවේ තිබුන එකම සමූපාකාරත් මේ වගේ නිහීන වැඩවලට පසුගිය කාලේ පාවිච්චි කළා.  එවැනි දේශපාලන බලපෑම් තිබෙනවා. මෙයාලව නීතියට ගෙන්න හරි අමාරුයි.

ගිය ආණ්ඩුවේ මිනිමරපුවා දුෂණ කරපුව‌ා, හොරකම් කරපුවත් ගෙන්න බැරි වුනානේ. එකෙන්ම තේරෙනවා මේකේ තියෙන අමාරුකම හා බැරෑරුම්කම. මොන  රජය බලයට පැමිණියත් මෙයාලාගේ බල පරාක්‍රමය පරාජය කරන්න කොච්චර අමාරුද කියලා.

නමුත් අපි ඒක දිගටම ඒ සදහා ක්‍රියාකරනවා. ආපසු එන්නෙත් මේ ආණ්ඩුව. විරාමයක් පමණයි එන්නේ. මේ රටේ මිනිස්සුන්ට කසිප්පු බොන්න ඕන නම්, මත්ද්‍රව්‍ය ගන්න ඕන නම්, මේ රටේ මිනිස්සුන්ට මිනි මරන්න ඕන නම් වෙනසක් ඇති කරන්න පුළුවන්.

ජනාධිපතිතුමා කාර්ය සාධන බලකායක් හරහා මත් ද්‍රව්‍ය වලට වැට බදින්න විශාල වැඩසටහනක් කලා. පහුගිය දිනවල නම් මට ඒ සදහා ආරාධනා කළෙත් නැ. ඒක කොච්චර ක්‍රියාත්මක ද කියලා මම දැනට දන්නේ නැහැ.”

Read more

Local News