ඇවන්ගාඩ් සභාපතිගේ වරෙන්තු ආපසු කැඳවයි

Share

රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇප මත මුදාහැර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි දන්වා නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(07) කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම විත්තිකරුවන් දෙදෙනාගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව එම වරෙන්තුව ආපසු කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

විත්තිකාර නිශ්ශංක යාපා සේනාධිපති මහතා අසනීප තත්ත්වයකට භාජනය වී සිංගප්පූරුවේදී ශල්‍ය කර්ම තුනකට භාජනය වී සිටින බවත් තවත් ශල්‍ය කර්ම දෙකක් සිදුකිරීමට නියමිතව තිබෙන බවත් ඔහුගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය.

විත්තිකාර පාලිත ප්‍රනාන්දු මහතා ද වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බව ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට දැන්වීය.

මේ හේතුවෙන් විත්තිකරුවන් දෙදෙනා අත්අඩංගුවට ඉදිරිපත් කිරීම සඳහා නිකුත් කළ පරිදි වරෙන්තු ආපසු කැඳවන ලෙසද ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව විත්තිකාර පාලිත ප්‍රනාන්දු මහතා මීළඟ දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දන්වා බන්ධනාගාර අධිකාරිවරයාට නොතීසි නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබන බව කියන නිශ්ශංක යාපා සේනාධිපති මහතාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් සහතික කළ වෛද්‍ය වාර්තාවක් ඊළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන මෙන් ද ඔහුගේ නීතිඥවරුන්ට නියම කළේය.

අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළ අතර නඩුව නැවත සැප්තැම්බර් මස 4 වනදා කැඳවීමට නියම කළේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඊට පෙර දින අධිකරණය විසින් නිකුත්කළ නොතීසියකට අනුව එම විත්තිකරුවන් දෙදෙනාගේ ඇපකරුවන් හත් දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඔවුන්ට මීළඟ නඩු දිනයේත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කළ විනිසුරුවරයා ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාරදිය යුතු බවට ද නියෝග කළේය.

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට ලබා දීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම නඩුවෙන් ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට එරෙහිව චෝදනා එල්ල කර තිබේ.

එම රුපියල් ලක්ෂ 355 ක මුදල අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට තවත් චෝදනාවක් එල්ල කර තිබේ.

Read more

Local News