මාරවිල රෝහලේ සිදුවීම ගැන සෞඛ්‍ය ඇමති නියෝගයෙන් විශේෂ පරීක්ෂණයක්

Share

ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් වෙනුවෙන් මාරවිල රෝහලට ඇතුලත් කර සිටි කාන්තාවකගේ අතක් සිරුරෙන් ඉවත් කළ බව කියන සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කර තිබේ.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ස්ථාපනය කර ඇති පරීක්ෂණ ඒකකය වෙත මෙම නියෝගය නිකුත් කර ඇත. ඒ සඳහා විශේෂඥ කණ්ඩායමක් මාරවිල රෝහල වෙත යැවීමට නියමිතයි.

මාරවිල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය නිර්මලා ලොගනාදන් මහත්මිය ද මේ පිළිබඳ කරුණු දැක්වා ඇත.

වයස අවුරුදු 78ක් වයසැති පැටී‍්‍රෂියා ලීලාවතී මහත්මිය පසුගිය ජුලි 20 වැනිදා ගර්භාෂය ඉවත් කිරීමේ (VHNR) ශල්‍යකර්මයක් සඳහා මාරවිල රෝහලට ඇතුලත් කර තිබේ.

එහිදී ඇයට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරුන් ඇයටත්, ඇයගේ පුත‍්‍රයාටත් අවවාද කර තිබුණේ අදාළ රෝගියාගේ වයස සහ වෙනත් රෝගී තත්වයන් පිළිබඳ සැළකිල්ලට ගෙන එම ශල්‍යකර්මය සිදු කිරීමේ අවදානමක් පවතින බවයි.

නමුත් රෝගියා සහ ඇගේ පවුලේ සාමාජිකයන් සාකච්ඡා කර වෛද්‍යවරුන් වෙත දැනුම් දුන්නේ එම ශල්‍යකර්මය සිදු කිරීමට තම කැමැත්ත පල කරන බවයි.

ඒ අනුව ජුලි 22 දින පැටී‍්‍රෂියා ලීලාවතී මහත්මියගේ ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදු කෙරුණු අතර ඉන් පසුව, වෛද්‍යවරුන් පෙර දැනුම් දුන් පරිදිම අවදානම් සහගත තත්වයක් උද්ගතවූ නිසා රෝගියාව මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබුවා.

ඉන් කෙටි වේලාවකට පසු වෛද්‍යවරුන් නිරීක්ෂණය කළේ රෝගී කාන්තාවගේ එක් අතක අස්වාභාවික බවකි. ඉන්පසු සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණ වුණේ, ලේ කැටියක් සිරවීම නිසා එක් අතක පැහැය නිල් පාටට හැරී අකර්මණ්‍ය තත්වයකට පත්ව ඇති බවයි.

දැඩි සත්කාර ඒකකයේ සිදු කරන ප‍්‍රතිකාරයන් කරන අතරතුර ජුලි 24 වැනිදා එම අකර්මණ්‍ය අත සිරුරෙන් ඉවත් කිරීමේ ශල්‍ය කර්මය සිදු කෙරුණි. ඒ රෝගියා තුළ පැවති ජීවිත අවදානම සමනය කිරීම සඳහායි.

මෙම අවසන් ශල්‍යකර්මය සිදු කර මේ වන විට දින 14ක් ගතවී ඇති අතර, තවමත් රෝගී කාන්තාව මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන අතර, ඇගේ තත්වය යහපත් අතට පත්වෙමින් පවතී.

මෙම සිදුවීම පිළිබඳ මාරවිල රෝහල මගින් ද පරීක්ෂණයක් ක‍්‍රියාත්මක බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය නිර්මලා ලොගානන්දන් මහත්මිය සඳහන් කළාය.

Read more

Local News