ලංකාවේ ප්‍රථමවරට එන්ඩොස්කොපි යන්ත්‍ර 20 ක් රෝහල් පද්ධතියට

Share

මධ්‍යම රජයේ සහ පළාත් සභා රෝහල් 20 ක් ස‍ඳහා අඩුව පැවති එන්ඩොස්කොපි යන්ත්‍ර 20 ක් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(06) දින ලබාදීම සිදු විය.

ඒ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා අංශයේ ශ්‍රවණාගාරයේදී යි.

මෙහිදී කුරුණෑගල හා මඩකලපුව ශික්ෂණ රෝහල්, මොණරාගල, ත්‍රිකුණාමලය, කළුතර, ගල්ගමුව හා මීගමුව මහරෝහල් මෙන්ම ගම්පහ, පුත්තලම, නිකවැරටිය, කරවනැල්ල, දඹදෙණිය, පේදුරුතුඩුව, මාතලේ, වවුනියාව, හොරණ, කුලියාපිටිය, වතුපිටිවල හා අවිස්සාවේල්ල යන රෝහල් 20 සඳහා මෙම එන්ඩොස්කොපි යන්ත්‍ර ලබා දීමට නියමිතයි.

මේ සඳහා රුපියල් මිලියන 200 ක පිරිවැයක් දැරුනු බවයි ජීව විද්‍යා ඉංජිනේරු සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්.ඒ.ජේ කරුණාතිලක මහතා පැවසුවේ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පෙන්වා දුන්නේ දිනකට හදවත් සැත්කම් 45 ක් මෙරට රෝහල්වල සිදුකරන බවයි.

මෙම අධිතාක්ෂණික වෛද්‍ය උපකරණ රෝහල් වෙත පරිත්‍යාග කිරීමෙන් දිනකට සිදුකරන හදවත් සැත්කම් ප්‍රමාණය වැඩි කිරීම තම අරමුණ බව එතුමා සඳහන් කළේය. එමනිසා හදවත් රෝගීන්ට ප්‍රමාදයකින් තොරව ප්‍රතිකාර ලබාගැනීමට හැකිවනු ඇත.

දැනට ඉතිහාසයේ රුපියල් මිලියන 200 ක් වටිනා එන්ඩොස්කොපි යන්ත්‍ර 20 ක් රෝහල් ජාලය වෙත මුදා හැරුණු මුල්ම අවස්ථාව මෙය බවයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසුවේ.

මේ වසර තුළ එන්ඩොස්කොපි යන්ත්‍ර 47 ක් දීපව්‍යාප්ත රෝහල් පද්ධතිය වෙත ලබාදීම තම අරමුණ බවත් මේ ඉන් පළමු යන්ත්‍ර 20 බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ ලොව දියුණුතම වෛද්‍ය ප්‍රතිකාර තාක්ෂණය ලංකාවේ රෝහල් වල වර්තමානයේ ක්‍රියාත්මක වන බවයි.

පසුගිය තෙවසරක කාලය තුළ රුපියල් බිලියන 450 කට ආසන්න මුදලක් නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් ආයෝජනය කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

Read more

Local News