රාමඤ්ඤ මහා නිකායට සහ අමරපුර මහා සංඝ සභාවට අගමැතිගේ ප්‍රශංසා

Share

බුදු දහම සහ බෞද්ධ ශාසනයෙහි අවිච්ඡින්න පැවැත්ම රැකගැනීමෙහි ලා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායත්, අමරපුර මහා සංඝ සභාවත් ඉටුකර ඇති කාර්යභාරය ඓතිහාසික බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විශේෂ සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ලක් බුදු සසුනෙහි චිර පැවැත්ම අනතුරකට බඳුන් වූ සමයක බෞද්ධ පුනරුදය උදෙසා මෙම නිකායන්හි ආදි කර්තෘන් වහන්සේලා කැපවීමෙන් ඉටුකළ කාර්යභාරය සදා අනුස්මරණීය බව අග්‍රාමාත්‍යරයා එහි සඳහන් කර ඇත.

රාමඤ්ඤ – අමරපුර නිකායන්හි බිහිවීම දීර්ඝ අධිරාජ්‍යවාදී පාලනයකින් දේශයත්, ජනතාවත් මුදාගැනීමේ ස්වදේශික අභිලාෂයන් සඳහා පුනර්ජීවය සැපයූ අතර, ශ්‍රී ලාංකික බොදුනු ජනතාව තුළ ධර්මප්‍රබෝධයක් ඇති කරලීම සඳහා වියත්, ධර්මධර, ශික්ෂාමාර්ගික මහා සඟරුවනක් දැයට දායාද කිරීමට ද මුල් වූ බව ගෞරවයෙන් සිහිපත් කළ යුතු බව ද ඒ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ තවදුරට පහත පරිදි සඳහන් වේ.,

“ශ්‍රී ලාංකික ථෙරවාදී ශාසන සම්ප්‍රදාය අතීතයෙන් නූතනයට කැඳවීම සඳහා මෙම නිකායන් ඉටුකළේ මුල් පෙළේ කාර්යභාරයකි.

පූර්ව නිදහස් යුගයේ මෙරට ජාතික නායකයින්ට මඟපෙන්වමින්ද, අප රටේ ඉතිහාසය, අධ්‍යාපනය, කලාව සාහිත්‍යය සහ ජන දිවිය සුරක්ෂිත කිරීමට කැපවෙමින්ද රාමඤ්ඤ මහා නිකායේ සහ අමරපුර සංඝ සභාවේ සංඝ නේතෘන් වහන්සේලා ලබා දුන් පරමාදර්ශී නායකත්වය පැසසුම් කටයුතු ය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය සහ අමරපුර මහා සංඝ සභාව බුදු සසුනේත්, දේශයේත් අභිවෘද්ධිය උදෙසා එකම අරමුණින්, එක්සිත්ව පොදු මහා නිකායික සාමග්‍රියකට පත්වීම, සමස්ත සමාජය තුළ සාමය සහ සංහිදියාව ගොඩනැගීම සඳහාත්, නූතන බෞද්ධ පුනරුදයේ නව ගමනක ඇරඹුම සඳහාත් මහඟු පිටුබලයක් වනු ඇතැයි අපේක්ෂා කරමි.

ලක් සසුන් ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් වන මේ උත්තරීතර මොහොතේ ඒ සඳහා නායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධුරන්ධර පරම පූජනීය අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ සහ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ප්‍රමුඛ නිකායත්‍රයේ මහා සඟරුවනට මාගේ ප්‍රණාමය පුදකරමි.

මතු ශාසනික පුනරාලෝකය ඇති කරමින්, ථෙරවාදී නිර්මල බුදු දහමෙහි චිරපැවැත්ම සඳහා කැපවන්නට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය සහ අමරපුර මහා සංඝ සභාව එක්ව යන ගමනට හෘදයාංගම සුභාශිංසන පිරිනමමි.”

Read more

Local News