ශ්‍රිලනිපය අනාථ වෙලාද ?

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමේ වුවමනාවක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

පඬුවස්නුවර මදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහලේකම්වරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතරමං වී ඇත්දැයි මෙහිදී මාධ්‍යවේදීන් මන්ත්‍රිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ, කිසිදු අනාත වීමක් නොමැති බවත් මෙවර මැතිවරණයේ තීරණාත්මක බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත්ය.

ඒ බලවේගයේ ශක්තිය අනාගතයේ දී බලාගත හැකි බවත් පැවසු මන්ත්‍රීවරයා, අනාථ වෙලා යයි පවසන අයට “අපි ගාවට ඇවිත් නැවතත් සහයෝගය ඉල්ලන්න වෙයි“ යනුවෙන් පැවසීය.

එවැනි ප්‍රකාශ ගැන කලබල විය යුතු නැති බවත් පැවසු මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණ මෙවැනි ආකල්පයක් නම් තම පක්ෂය පිළිබඳ දරන්නේ කිසි විටෙකත් සාකච්ඡාවක් අවශ්‍ය නොමැති බවත් කියා සිටියේය.

මෙවැනි කථා පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ  මහතා නොවන බවත් පැවසු මන්ත්‍රීවරයා, එවැනි කථා පවසන්නේ දේශපාලනයේ විනාශ වී ඇති අය බවද පැවසීය.

ගෝඨාභය මහතාට තම පක්ෂයේ සහයෝගය අවශ්‍යව ඇති බවත් පැවසු දයාසිරි ජයසේකර මහතා, අනාගතයේ වැඩ කරන ආකාරය බලා සිටිමු යනුවෙන් ද කියා සිටියේය.

මේ එකතු වීම ගැන තීරණාත්මකව කථා කරන කිසිවෙකු මෙවැනි කථා නොකියන බවත් පැවසු මන්ත්‍රීවරයා, කිසිවිටෙකත් පොදු ජන පෙරමුණේ සහෝදරවරු පවසන ඕපාදුපවලට උත්තර දෙන්න යන්නේ නැති බවද පැවසීය.

Read more

Local News