විධිමත් අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ ක්‍රමවේදයක් ගැන සාකච්ඡාවක්

Share

පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේ දී සිදුවන අක්‍රමිකතා අවමකර ගනිමින්, විධිමත් අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

අවසර නොලත් ගල් වලවල් සහ මසුන් මැරීම සදහා පුපුරණ ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් සිදුවන විශාල පරිසර හානිය පිළිබදව ද මෙහිදී අවධානය යොමු වූ අතර එම ඉඩ කඩ අහුරාලමින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීම කළමනාකරණය පිළිබඳව සාකච්ඡා විය.

එමෙන්ම ජාතික ආරක්ෂාව තහවුරුවන අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සිදුවියයුතු බවට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

පුපුරණ ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අදාළ සියලූ ආයතන විධිමත් සම්බන්ධිකරණයකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය පෙන්වාදුන් ජනාධිපතිවරයා මෙම නව ක්‍රමවේදය සැකසීම පිළිබඳ එම සියලූ ආයතනවල අදහස් සහ යෝජනා ලබා දෙන ලෙස දැනුම් දුන්නේය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ද, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ද පුපුරණ ද්‍රව්‍ය නියෝජ්‍ය පාලක ඇතුළු නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Read more

Local News