ඇවන්ගාඩ් නඩු විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් දෙන්නැයි නීතිපතිගෙන් ඉල්ලීමක්

Share

ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව ගොනු කරනු ලබන නඩුව ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම සඳහා විනිසුරුවරුන් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් මෙම ඉල්ලීම අද (21) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත යොමු කළ බව නීතිපතිවරයා ගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය සඳහන් කර සිටියේ මෙම විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව චෝදනා 7573 ක් යටතේ නඩු පැවරීමට නියමිත බවයි.

2014 වසරේ අප්‍රේල් මස 7 වනදා සහ 2015 වසරේ ඔක්තෝබර් මස 6 වන දා දක්වා කාලසීමාව තුළ හික්කඩුව ආසන්න මුහුදේ එම්.වී.ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් හෝ අවසර පත්‍රයක් නොමැතිව ස්වයංක්‍රිය ගිනි අවි 816 ක් සහ ජීව උණ්ඩ දෙලක්ෂ නවසිය තිස් පහක් තබාගැනීම තුළින් විත්තිකරුවන් වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කිරීමට නියමිතය.

විත්තිකරුවන් විසින් සංවිධානාත්මක ආකාරයෙන් සිදුකළ මෙම අපරාධ ක්‍රියාව දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් දැඩි කැලඹීමකට තුඩු දී තිබූ හෙයින් මෙම නඩුව ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට සුදුසු බවට නීතිපතිවරයා තීන්දු කර ඇතැයි ද නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරින නිෂාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News