පාඨලීගෙන් ආරාධනාවක්

Share

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබ‍ඳව දැනගැනීමට අවශ්‍ය නම් සිය අමාත්‍යාංශයේ කටයුතු කර තිබෙන අයුරු පිලිබඳ අවබෝධයක් ලබා ගන්නා ලෙසට මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළකර සිටියේ වෝටර්ස් ඒජ් ආයතන පරිශ‍්‍රයේ ඉදිවන විනෝදාත්මක උද්‍යානයේ ඉදිකිරීම් ආරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ සංචාරක ව්‍යාපාරය වර්තමානයේ ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ගෙන්වන ප‍්‍රධාන මාධ්‍යයක් බවයි.

සංචාරකයින්ගෙන් ලංකාවට ලැබෙන ආදායම මිලියන 4,000 ඉක්මවා ලැබුණත් එයින් අඩක් පමණ නැවතත් ශ්‍රි ලාංකිකයන් විසින්ම අධ්‍යාපනයට, විදේශරටවල සංචාරයට, සංතොෂා දිවයිනට, සිංගප්පූරුවට, ඩුබායිවලට විශාල වශයෙන් නැවතත් විදෙස් රට කරා ගෙන යන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

2018 වසරේ සංචාරක ව්‍යාපාරයෙන් උපයාගත් ධනය ඩොලර් මිලියන 4,300ක් බවත් එයින් ශ‍්‍රී ලාංකිකයින් විසින් නැවතත් ඩොලර් මිලියන 1,600ක් විදේස් රට කරා රැගෙන ගිය බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“වෝටර්ස් ඒජ් කලාපයේ දියවන්නා ගඟෙන් දකුණු ඉවුරේ අපි කලක සිට සැලැසුම් කර තිබෙනවා විනෝදාස්වාද නගරයක් ගොඩනගන්න.

මොකද මෙයින් වම් ඉවුරේ අනාගත පරිපාලන නගරය නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගොඩනගාගෙන යනවා.

තව වසර තුනකින් මෙහි ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ඉවර උනහම කොළඹ නගරයේ දැනට තිබෙන ප‍්‍රධාන රාජ්‍ය ආයතන ගණනාවක් එහි එනවා.

ඒ වගේම තව අවුරුදු 4 කින් මේ කලාපය හරහා සැහැල්ලූ දුම්රිය සේවය ගමන් අරඹනවා. ඔබට පෙනෙනවා ඇති ඒ සඳහා බිම් මට්ටමේ කෙරෙන පර්යේෂණ කටයුතු සිදු කරගෙන යනවා.

දිරිකාලයේදී කොළඹ නගරය ජල මාර්ග ඔස්සේ එකතු කරන්න බලාපොරොත්තු වනවා.

එතකොට මේ කලාපය ඉතාම කළබලකාරී ප‍්‍රදේශයක් බවට පත් වෙනවා. එතකොට ඒ ප‍්‍රදේශයේ අයගෙත්, පොදුවේ ශ‍්‍රී ලාංකික මහජනතාවගේත් විනෝදාස්වාදය, මානසික ආතතිය දුරු කිරීම සඳහා මේ කලාපයේ Colombo Eye නමින් හඳුන්වන විශාල ෆෙරිස් රෝදය පැමිණෙනවා පමණක් නෙමෙයි දැනටමත් අප විසින් ක‍්‍රීඩා කටයුතු සඳහා එවැනි අංගෝපාංග කිහිපයක් දියුණු කර තිබෙනවා.

එයින් අපට පෙනෙනවා අපේ ධනය අපි ඉතිරි කර ගන්න නම් ඒ ජනතාවට විනෝදාස්වාදය සැපයෙන කි‍්‍රයාදාමයක් ඇතිකර ගත යුතුයි විදේශවලින් එන සංචාරකයින්ට අමතරව.

මා හිතනවා එම ප‍්‍රතිඵළ දෙකම විදේශීය සංචාරකයනුත්, දේශීය පිරිසටත් මේ රට තුළම තමන්ගේ විනෝදාස්වාදය සඳහා කටයුතු කරන්න මෙමගින් අවස්ථාව ලැබෙයි කියා.

මාස කිහිපයකින් එහි ප‍්‍රතිඵල ලැබෙයි. වසරකටත් අධික කාලයක් අපි මහන්සි උනා විවිධ ආයතනවලින් අවසර ගැනීමට සිදු උනා.

ඒ වගේම තවත් අවස්ථාවන් ගණනාවක් වෝටර්ස් එජ් ආයතනය මගින් ඉදිරියේදී සිදු කරගෙන යනවා. රාජ්‍ය අංශයේ ආයතන පිළිබඳව හැමදාම අපට මාධ්‍ය මගින් නරක ප‍්‍රවෘත්ති වාර්තා වෙනවා. මූල්‍ය පාඩු ගැන, සේවකයින් වැඩියෙන් බඳවා ගැනීම ගැන. හැබැයි ජයග‍්‍රහණයේ කතා දාන්නේ නැහැ.

වෝටර්ස් එජ් ආයතනය, නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධන සංස්ථාව මේ රටේ  ඕනෙම රාජ්‍ය ආයතනයකට වඩා හොඳින් තමන්ගේ මූල්‍ය කළමනාකරණය කර තිබෙනවා, තමන්ගේ සංවර්ධන අවශ්‍යතා සංවර්ධනය කර තිබෙනවා කියන එක අපි බොහොම ආඩම්බරයෙන් ප‍්‍රකාශ කරනවා.

අපි කිසිම කෙනෙකුට ණය වෙලා නැහැ. හුඟ දෙනෙක් අපට ණය වෙලා තිබෙනවා. ඒ වගේම මේ රටේ ඉදිරිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ සහ අනෙකුත් ක්‍ෂෙත‍්‍රවල විදේශ ආයෝජන රැුගෙන ඒම පිළිබඳව ගත්තත් අපි භාරගත් සෑම ව්‍යාපෘතියක්ම අපි සාර්ථක කරලා ඒ අවස්ථාව ලබාගෙන තිබෙනවා.

අද වන විට වරාය නගරය නාගරික සංවර්ධන ප‍්‍රදේශයක් හැටියට ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. තව නුදුරු දිනයකදී හෙක්ටයාර 400කට ආසන්න මුහුදු තීරයක් සහිත ඒ ගොඩබිම් තීරය නාගරික සංවර්ධන අධිකාරියේ අයිතිය යටතට ජනාධිපතිතුමා විසින් ලබාදීමට නියමිතයි. ඉන් පසුව එහි සංවර්ධන කටයුතු ආරම්භ කරන්නත් අපට හැකියාව ලැබෙනවා.

කණගාටුවෙන් උවත් කියන්න  ඕනේ අපේ ආණ්ඩුවේ අයටවත් මේ ආයතනය ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. ඒනිසා 2016 දී විකුණන්න තිබෙන රාජ්‍ය ආයතන ඇතුළට මේ වෝටර්ස් ඒජ් ආයතනයත් ඇතුළත් කර තිබුණා.

දැන් අපි පෙන්වා දී තිබෙනවා පුද්ගලික අංශයට වඩා හොඳින් අපට ඒ කටයුතු කරගෙන යන්න පුළුවන් කියන එක. මුදල් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන කරගෙන යන ඇත්තන්ටත් අපි පෙන්වා දී තිබෙනවා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කරගැනීමට අවශ්‍ය නම් ඇවිත් අපේ අමාත්‍යාංශය කර තිබෙන අයුරු ගැන බලන්න කියා අපි එතුමන්ලාට ආරාධනා කරනවා.”

Read more

Local News