එජාපය තුළ කිසිම ප්‍රශ්නයක් නැති බව රවී කියයි

Share

එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු ගැටළුවක් නොමැති බවත් පක්ෂය එක් එක් පුද්ගලයාගේ බූදලයක් නොවන බවත් විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අත්තනෝමතිකව කටයුතු නොකර, ඒකරාශීව කටයුතු කළොත් එක්සත් ජාතික පක්ෂයට ජනතා විශ්වාසය දිනාගනිමින් විශිෂ්ට ජයක් ලබන්න හැකි වේවි ලෙසද ඔහු ප්‍රකාශ කළේය.

අරගල ඇති කර ජනතාවගේ ඡන්දය බලහත්කාරයෙන් ලබාගන්න තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ, ඊයේ (24) පැවති රාගම දෙවාලයේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.

මෙහිදී ප්‍රධාන කපු මහතා විසින් අමාත්‍යවරයාගේ දේශපාලන ගමන්මග පිළිබදව ප්‍රශංසා කරමින් ඉදිරි කටයුතු සාර්ථක කරගැනීම වෙනුවෙන් දේවාශිර්වාදය ප්‍රාර්ථනා කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

” එක්සත් ජාතික පක්ෂය මේ රටේ තිබෙන පක්ෂ අතරින් ඉතා ප්‍රභල පක්ෂයක්. අපේ පක්ෂය නියම වේලාවට, නිසි පුද්ගලයෙක් ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරනවා. ඒ ගැන බොරුවට කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අත්තනෝමතිකව යම් යම් ප්‍රකාශ නොකර, පක්ෂයක් හැටියට ඒකරාශීවෙලා කටයුතු කළොත්, ජනතා විශ්වාසය දිනාගැනීම පහසු වේවි. ඕනෑම දෙයක් කඩාකප්පල් කරන්න හරි පහසුයි.

එක්සත් කරලා ආරක්ෂා කරන්න තමයි අමාරු. අපි කිසිම භේදයක් නොමැතිව, එක්සත් ආකාරයෙන් කටයුතු කරන්න තමයි උත්සාහ කරන්නේ. මම ඉතාමත් වගකීමෙන් කියන්නේ එක්සත් ජාතික පක්ෂයේවත්, කෘත්‍යාධිකාරි මණ්ඩලය තුලවත් කිසිම ප්‍රශ්නයක් නැහැ.

අපි පසුගිය සමයේ යම් අපහසු කාලයක් පසුකරන් ආවා. දැන් අපි ඒ දේවල් නිවැරදි කරගෙන යනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ, අපි ජනාධිපතිවරණය අනිවාර්යයෙන් ජයගහණය කරනවා. ඒ ලබන ජයග්‍රහණය යම් විනයක්, නීතී රාමුවක්, සම්ප්‍රදායක් තුළින් තමයි අපි ලබාගන්නේ ”

“එක්සත් ජාතික පක්ෂය තුළ කිසිම අර්බුදයක් නැහැ. යම් පුද්ගලයින් තමන්ගේ හිතුමතේට නොයෙක් දේ ප්‍රකාශ කරමින් කටයුතු කළාට, එ.ජා.ප. ය විනයක් සහිතව කටයුතු කරගෙන යනවා.

පක්ෂය තුළ අර්බුදයක් ඇති කරන්න හදන්නේ, එ.ජා.ප. යේ සම්ප්‍රදාය නොදන්නා, පක්ෂය කඩාකප්පල් කරන්න උත්සාහ දරන පුද්ගලයින්. මේ පක්ෂය එක්කෙනෙක් දෙන්නෙක්ගේ බූදලයක් නොවෙයි.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටේ තිබෙන පැරණිතම පක්ෂය. දීර්ඝ ඉතිහාසයක්, දැඩි විනයක් සහිතව ජනතා විශ්වාසය දිනාගත් පක්ෂයක් හැටියට ඉදිරියටත් ඒ ආකාරයෙන්ම ජනතාවගේ විශ්වාසය දිනාගනිමින් කටයුතු කරන්නයි අපට අවශ්‍ය වන්නේ. එහෙම නැතිව පාරක් පාරක් ගානේ ගිහින්, අරගල ඇති කරලා, ජනතාවගේ ඡන්දය බලහත්කාරයෙන් ලබාගන්න අපට අවශ්‍ය නැහැ.

ජනාධිපතිවරණය කියන්නේ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ දෙයක් නොවෙයි. ඊටත් වඩා තවමත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරලා නැහැ. ඉතින් ඇයි මේ කලබලයක්.

පරිනතභාවය, වැඩකරන්න ඇති හැකියාව, ජාත්‍යන්තරය සමග ඇති සම්බන්ධතාවය යන හේතූන් ගැන සලකලා තමයි අපේ පක්ෂයෙන් අපේක්ෂයා සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ.

ඉදිරියේදී පක්ෂයේ පොදු තීරණයක් මතින් විශිෂ්ට ජයක් ලබන්න හැකි ආකාරයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා යැයි පැවසීය.”

Read more

Local News